අප රටට බාල ගල් අගුරු ගෙන්වීම සම්බන්ධ තොරතුරු සමගි ජන බලවේගය හෙළිදරව් කිරීමත් සමඟ අද වන විට රජයේ වගකිව යුතු පාර්ශ්වයන් ජනතාව ඉදිරියේ ඒ ගල් අගුරු බාල යැයි කියමින් යන බවත් මේ බාල ගල් අගුරු ගෙන්වීම නිසා විදුලි ජනන ක්‍රියාවලිය අකාර්යක්ෂම වීමත් මේ බාල ගල් අගුරු භාවිතය නිසා උපකරණවලට හානි පවා සිදුවන ප්‍රවණතාව වැඩි වී ඇති බවත් මේ බාල ගල් අගුරු තුළින් නිර්මාණය වන අලු ප්‍රමාණය ප්‍රතිශතාත්මකව දෙගුණ වී 11-15% දක්වා තිබිය යුතු ප්‍රමාණයන් 21% සිට ඉහළ දළ වශයෙන් දෙගුණයක් වැඩිවී ඇති බවත් මේ අලු බැහැර කිරීමේ දී පවා පරිසරයට හානියක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉදිරි මාස 2-3 තුළ තවත් ගල් අගුරු නැව් 15ත් 16ත් අතර ප්‍රමාණයක් ගොඩබෑමට ඇති බවත් හොඳ ප්‍රමිතියේ ගල් අගුරු නොගෙන්වීමත් බාල ගල් අගුරු ගෙන්වීම නිසා ජනනය කළ යුතු මෙගාවොට් ප්‍රමාණය අඩුවීම නිසා විදුලි ජනන හිඟය මඟහරවා ගැනීමට ඉන්ධන බලාගාරවලින් විදුලිය උත්පාදනය කර ලබා ගැනීමට සිදුවන නිසා රටටත් රජයටත් ජනතාවටත් විදුලි පාරිභෝගිකයන්ටත් මූල්‍ය හානියක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
2009 විදුලි බල පනතේ 30 වැනි වගන්තිය අනුව කාර්යක්ෂ විදුලි ජනනය හරහා පමණක් පාරිභෝගික ජනතාවගෙන් අය කිරීම සිදු කළ හැකි බවට සඳහන් බවත් මේ සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය ආරක්ෂා කරන මහජන උපයෝගීතා කොමිසමට අවධානය යොමු කළ යුතු බවත් මේ බාල ගල් අගුරු නිසා සිදු වන්නේ අකාර්යක්ෂම පාඩු ලබන අක්‍රමිකතා රැසක් ඇති විදුලි ජනනයක් නිසා මේ 30 වැනි වගන්තිය හරහා මේ සිදුව ඇති මහා මූල්‍ය පාඩුව කිසිසේත්ම අපේ රටේ ලක්ෂ 75ක් පමණ විදුලි පාරිභෝගිකයාගෙන් අය කරන්න රජයට හෝ මහජන උපයෝගීතා කොමිසමට සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය ගෙන ආ ක්‍රමයේ වෙනස වන්නේ බාල ගල් අගුරුයි
බාල ගල් අගුරු උපයෝගී කර ගෙන සිදු කළ හානියේ බර පාරිභෝගික ජනතාවගේ කරපිට පැටවීම අනීතික බවත් ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියූ වත්මන් රජය අද බාල ගල් අගුරු රටට ගෙනවිත් ඇති බවත් මේ පාඩුව තුළින් රටට අහිමි වූ මුදලින් පාසල් රෝහල් සාදා දුප්පත් ජනතාවට සහන දෙන්න පවා හැකියාව තිබූ බවත් නව ව්‍යාපාර ආරම්භ කර ව්‍යාපාර දියුණු කරන්න පවා හැකියාව තිබුණත් මේ ක්‍රමයේ වෙනස පොරොන්දු වූ රජය අන්ත දූෂිත බාල ගල් අගුරු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර රටත් ජනතාවත් අනාථ කිරිම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මේ ගැන සොයන්න වෝහාරික විගණනයක් අවශ්‍යයි
මේ ගැටලුව ගැන සොයන්න ප්‍රවීණයන්ගේ කමිටුවක් පත් නොකර වෝහාරික විගණනයක් සිදු කර මේ දූෂිත ගණුදෙනු ගැන සෙවිය යුතු බවත් විදුලි පාරිභෝගික ජනතාව රැක ගන්න සමගි ජන බලවේගය පෙනී සිටින බවත් රාජ්‍ය සම්පතක් වූ නොරොච්චෝලේ බලාගාරයට බාල ගල් අගුරු දමා සිදු කරන හානියට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.



