21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා යැයි ජනපති මෛත්‍රී කියූ බව...

අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා යැයි ජනපති මෛත්‍රී කියූ බව නිලන්ත මට කිව්වා

පාස්කු ප්‍රහාරය සිදු වූ අප්‍රේල් 21 දිනට දින පහකට පෙර එනම් අප්‍රේල් 16 වැනිදා මෙරටට පැමිණි පකිස්ථානයේ ආරක්ෂක දූත පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන ඉස්ලාම් අන්තවාදයක් මෙරට නැති බවටත් කලාපීය අයිඑස් අයි එස් තර්ජනයක් නැති බවටත් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (INSSSL)හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අසංග අබේගුණසේකර පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවේ පෙරේදා (30දා) රාත්‍රියේ සාක්ෂි දෙමින් පැවසීය.

එසේම 2017 දී ඉස්ලාම් අන්තවාදය කලාපීය අනතුරක් බව තමා ජාතික බුද්ධි ප්‍රධානියාට වාර්තා තුනක් යොමු කරමින් දැනුම් දුන් බවද ඔහු කියා සිටියේය.

එහා මෙහා යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා යැයි හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පැවසූ බවට හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කලාපීය ආරක්ෂාව සමබන්ධයෙන් පැවති රැස්වීමකදී තමා සමග පැවසූ බවත් ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රහාරයෙන් පසු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී තමා ජනපතිට නිලන්ත ජයවර්ධන එසේ ප්‍රකාශ කළ බවට පැවසූ බවත්, එහිදී ජනපති පිළිතුරු දෙමින් කියා සිටියේ තමා එසේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂට නොපැවසූ බව ප්‍රකාශ කළ බවද සාක්ෂිකරු කීය.

එසේම කලාපීය අනතුරක් ඇති බව ට තමා යොමු කළ වාර්තාව හිටපු ජනාධිපතිවරයා වෙත නොලැබී තිබූ බවද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

තමා අලියාර් ගැටුමෙන් පසුව අයි.එස්.අයි.එස්. ප්‍රහාර එල්ල වූ විදේශ රටවලින් බුද්ධි තොරතුරු සොයා බැලූ බවත් ප්‍රකාශ කළේය.

එසේම රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ,ජාතික බුද්ධි ප්‍රධානියා, යුද හමුදා බුද්ධි ප්‍රධානි, පොලිසියේ ඉහළ නිලධාරීන් ආරක්ෂක ලේකම් වගේම තවත් අය සමග මේ පිළිබඳව සාකච්ඡා කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍යය හමුවීම, සහරාන් සමාජ ජාල ඔස්සේ ජිහාදයක් සැකසීම සඳහා සිදු කරන දේශනා ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ බවත් ඉස්ලාම් අන්තවාදය වගේම කලාපීය තර්ජනයක් ඇති බව මාසිකව ඉදිරිපත් කළ ආරක්ෂිත තර්ජන වාර්තා මගින් අදාළ බලධාරීන්ට දැන්වූ බවද ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය.

තවද සහරාන් හෂීම් සමාජ ජාල ඔස්සේ සිය අනුගාමිකයන් ජිහාදයක් සැකසීම සඳහා අභිප්‍රේරණය කරමින් සිටින බව කියමින් මා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කර ඒවා අවහිර​ කරන ලෙස ඉල්ලුවද ඒ අවස්ථාවේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන එහෙම සිදු කළොත් අපි ටාගට් වේවි යනුවෙන් පැවසූ බවද ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments