22.5 C
Sri Lanka
Monday, May 19, 2025
Homeසතියේ සංවාදදියවන්නාවේ කාන්තා වධහිංසනය කතානායකවත් රවට්ටන්න යයි.

දියවන්නාවේ කාන්තා වධහිංසනය කතානායකවත් රවට්ටන්න යයි.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට එහි ඇතැම් ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා විශේෂ ප්‍රශ්නයක් නගමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (07) විශේෂ කරුණු අනාවරණයක් කළේය.

මේ කරුණු අනාවරණයෙන් පසු එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

කතානායකවරයාගේ මේ ප්‍රකාශයෙන් කලබලයට පත් වූ එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් එහි සේවක සේවිකාවන්ට එවැනි හිරිහැර සිදු නොවන බවට කතානායකවරයාට දැන්වීම සඳහා කිසියම් ලිපියකට බලහත්කාරයෙන් අත්සන් ගැනීමේ කූඨ ව්‍යාපාරයක් අරඹා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

මෙහි අරමුණවී ඇත්තේ කතානායකවරයා රැවටීම බව දැනගන්නට ඇත.

මෙම සිද්ධියෙන් ඇතැම් ප්‍රධානීන්ට ඇතිවී තිබෙන නින්දාවෙන් ගැලවීමද මෙම කූඨ උප්පරවැට්ටියේ තවත් අරමුණක් බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම අත්සන් ලේඛනය අද හෙටම කතානායකවරයාට භාර දීමට නියමිත බව සඳහන් කරන එම ආරංචි මාර්ග මෙම උප්පරවැට්ටියට නොරැවටෙන ලෙස තවත් සේවකයන් පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට සූදානම් වෙමින් සිටින බවද අනාවරණය වෙයි.

දෙපාර්තමේන්තුවේ කාන්තාවන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් දැනටමත් එහි ප්‍රධානීන්ට අවවාද කර ඇත.

එසේ තිබියදී එවැනි හිරිහැර නොවූ බවට මෙලෙස අත්සන් ගැනීම විහිළු සහගත කාරණයක් බව පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තුව සිය සේවකයන් සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණ බොහොමයක් නිමාවූයේ වින්දිතයන්ට කිසිදු සාධාරණයක් ඉටුකර නොදෙමිනි. ඒ ඇතැම් ප්‍රධානීන්ගේ බලපෑම් හේතුවෙනි. එසේ හෙයින් මෙම පරීක්ෂණය බාහිර විමර්ශකයන්ගේ සහාය ලබාගෙන කරන ලෙස එම සේවකයෝ කතානායකවරයාගෙන් උදක්ම ඉල්ලා සිටිති.

එසේම මෙම බොරු අත්සන් මත පදනම් කරගෙන යම් තීන්දුවක් ගතහොත් එය සැබෑ වින්දිතයන්ට කරන බලවත් අසාධාරණයක් බවද ඔවුහු අවධාරණය කරති.

ඇත්ත තත්වය මෙසේ හෙයින් උගත් බුද්ධිමත් කතානායකවරයා මෙම සිද්ධිය ගැන සෙවීම බාහිර විමර්ශන කණ්ඩායමකට පවරනු ඇතැයි යුක්තිය සාධාරණය අගයන පාර්ලිමේන්තු සේවක සේවිකාවෝ තවදුරටත් බලාපොරොත්තු වෙති.

පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් මේ අවස්ථාවේදී කළ යුත්තේ සිදුවී ඇති හිරිහැර පිළිබඳව පුළුල්ව සොයා බලා ඒවා විසඳීම මිස වෙන උප්පරවැට්ටි දමමින් ඒවා වසන් කිරීම නොවන බව බොහෝ දෙනෙක් පෙන්වා දෙති. මන්ද මෙම දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදුවන හිරිහැර පිළිබඳව පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් කාලයක සිටම මනාව දන්නා කාරණයක් හෙයිනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments