පවතින ගැටලු අවබෝධ කරගෙන සිනමා කර්මාන්තය නවීන ලෝකයට ගැලපෙනසේ සකස් කිරීමට කැප වෙනවා- සභාපති සුදත් මහදිවුල්වැව


ශ්‍රිලාංකීය කතානාද සිනමාවට හැත්ත අටයි,ජාතික චිත්‍රපටිසංස්ථාවට වසර පනස් තුනක් සපිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තිබෙන තරංගණි සිනමාශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්විණි
මෙම සැමරුම් විශේෂ උත්සවය බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව, සිනමා ක්ෂේත්‍රයේ කලා ශිල්පීන්ගේ හා සිනමා ලෝලීන්ගේ සහභාගිත්වයෙන් පැවැති අතර එහිදි සංස්ථාව ස්ථාපිත කළ දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට මල්මාලාව පැළඳ විම සංස්ථාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනෙකු වන අජිත් කිරිවත්තුඩුව සහ ටි,ජි තලගල යන මහත්වරු සිදු කළහ.
එම ඡායාරූපයට පුෂ්ප උපහාර දැක්විම විෂය භාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතින් සිදුවිය. සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිත දේශනය ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා සිදුකළේය.මෙම දේශනයේ මාතෘකාව වූයේ සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමෙහිලා අද්‍යතන සිනමාවේ කාර්යභාර්ය යන්නයි.
මෙම සැමරුමට සමගාමීව ජ්‍යෙෂ්ඨ කලාකරුවන් තිදෙනෙකු වන ප්‍රවීණ රංගනවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙනිය ,ප්‍රවීණ රංගන වේදනී වසන්තී චතුරාණි, ප්‍රවීණ රංගන හා ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා, මෙහිදී ඇගැයීමට ලක් කිරිම සිදුවු අතර එහිදි විශේෂ තිළිණ හා මුදල් ප්‍රදානයක් සිදුවිය. මෙහිදි නාමල් ප්‍රසන්ත රචනා කළ වාර්තා චිත්‍රපට වංශය සහ චිත්‍රපට සංස්ථාවේ ප්‍රකාශනයක් ලෙස එළි දකින ‘චිත්‍රපට‘ සඟරාව 2025 පළමු කලාපය එළි දක්වන ලදී.




අනුර ප්‍රේමලාල්