නාගරික ප්‍රදේශවල පොදු මහජනතාව සහ සංචාරකයන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ හා සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන – 2025.
නාගරික ප්‍රදේශවල පොදු මහජනතාව සහ සංචාරකයන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ හා සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළව ඇති ව්‍යාපෘති යෝජනා සම්බන්ධයෙන් ක්ෂේත්‍ර චාරිකාවක් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දින සිදු කෙරිණි.
මෙහිදී තංගල්ල ප්‍රාදේශීය සභාව, හම්බන්තොට මහා නගර සභාව, අම්බලන්තොට ප්‍රාදේශීය සභාව, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සහ සූරියවැව ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන බල ප්‍රදේශයන්හි පිහිටි වැදගත් ස්ථාන නිරීක්ෂණයට ලක්විය.
එම නිරීක්ෂණයන්හීදී පහත සඳහන් ප්‍රධාන යෝජනා ඇතුළු තවත් වැදගත් කරුණු සාකච්ඡාවට බඳුන් විය.
තංගල්ල, කුඩාවැල්ල මුහුදු වෙරළ ආශ්‍රිතව වාහන නැවැත්වීමේ පහසුකම් සඳහා වාහන නැවතුම්පොළක් නිර්මාණය කිරීම මෙන්ම දිය මත ලිස්සා යාමේ ක්‍රීඩා (Surfing) ව්‍යාපෘතියක් ආරම්භ කිරීම.
හම්බන්තොට මහා නගර සභා බලප්‍රදේශය තුළ ළමා උද්‍යානයක්, ඇවිදින මංතීරුවක්, නාන තොටුපළක් ඉදිකිරීම මෙන්ම දිය මත ලිස්සා යාමේ ක්‍රීඩා (Surfing) ව්‍යාපෘතියක් ආරම්භ කිරීම.
අම්බලන්තොට, උස්සන්ගොඩ වෙරළ තීරය සංවර්ධනය කිරීම යටතේ වාහන නැවතුම්පොළක් මෙන්ම පොදු සනීපාරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් පහසුකම් අලුතින් ඉදිකිරීම (මුහුදේ විනෝද වීමෙන් අනතුරුව පිරිසිදු ජලයෙන් ස්නානය කිරීම සඳහා පහසුකම්ද සහිතව) සහ නෝනාගම ප්‍රදේශයේ පිහිටි ජල උද්‍යානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් ජල උද්‍යානය සඳහා බෝට්ටු ලබාදීම.
තිස්සමහාරාම, කිරින්ද, ඔරුවැල්ල වෙරළ ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ වාහන නැවතුම්පොළක් ඉදිකිරීම, බෝට්ටු සවාරි ව්‍යාපෘතියක් ආරම්භය, සහ සනීපාරක්ෂක පහසුකම් ඇතිකිරීම,
පළමු මහල ව්‍යාපාරිකයන් සඳහා වෙළඳාම් කටයුතු වෙනුවෙන් වෙන්වුණු වෙළඳ සංකීර්ණයකින්ද, දෙවන මහල තිස්සමහාරාම ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රය ලෙසද, තෙවන මහලේ ශ්‍රවණාගාරයකින්ද සමන්විත තිස්සමහාරාම නගරයේ පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ලේ පිටත භූමිය කුට්ටි ගල් ඇල්ලීම හා දෙවන මහලේ වැඩ කඩිනමින් අවසන් කිරීම.
දකුණු පළාත් සංචාරක කාර්යාංශය යටතේ ඇති සූරියවැව උණුවතුර ළිං හා වාහන නැවැත්වීමේ ප්‍රදේශය සංවර්ධනය කිරීම.
ඊට අමතරව ප්‍රදේශයේ ජනතාව, මහජන නියෝජිතයන් සහ සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවේ නියැලෙන්නන් ඉදිරිපත් කළ ගැටළු, අදහස් සහ යෝජනා පිළිබඳවද ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ අවධානය යොමුවිය.
මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් පී. එම්. ඒ. දයානන්ද, අමාත්‍යාංශයේ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී. පී. ඉන්ධක, සංවර්ධන නිලධාරී චරිත් රත්නායක , හම්බන්තොට පළාත් පාලන සහකාර කොමසාරිස්තුමිය ඇතුළු යන මහත්වරුන්ද අදාල පළාත් පාලන ආයතනයන්හි ලේකම්වරු හා තාක්ෂණික නිලධාරීන් සමග අභිනවයෙන් පත්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුද එක්වූහ.


