20.6 C
Sri Lanka
Wednesday, December 3, 2025
Homeදේශීය පුවත්අයහපත් කාලගුණයත් සමග අ.පො.ස. උසස් පෙළ විභාග‍ය පැවැත්වීමට අදාළවක්ෂණික සැලසුම් සකස් කිරීමට...

අයහපත් කාලගුණයත් සමග අ.පො.ස. උසස් පෙළ විභාග‍ය පැවැත්වීමට අදාළවක්ෂණික සැලසුම් සකස් කිරීමට අගමැතිනියගෙන් උපදෙස්.

.පවතින අධික වර්ෂාව හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සිදුවන වෙනස්කම් හා ගනු ලබන  ඉදිරි ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අද (27) අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙ‍විරත්න මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. ඒ සඳහා අධ්‍යාපන ලේකම් නාලක කලුවැව, ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම අමාත්‍යාංශ නිලධාරීහු  සහභාගී වූහ.

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට  අපහසුතාවකින් තොරව  විභාගයට පෙනී සිටීමට අවස්ථාව සැලසිය යුතු බව මෙහිදී ‍ප්‍රකාශ කළ අමාත්‍යතුමිය ඒ සඳහා පළාත් සහ කලාප මට්ටමින් අධ්‍යාපන බලධාරීන් සම්බන්ධ කරගනිමින් නිරන්තර අධීක්ෂණයෙන් සිටිය යුතු බවත්, සෑම අවස්ථාවක ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සහාය ගත හැකි සියලු ආයතන සම්බන්ධ කර ගනිමින් මනා සංවිධානයකින් යුතුව මෙම ක්‍රියාවලිය සංවිධානය කරගත යුතු ආකාරය පිළිබඳ නිලධාරීන් දැනුම්වත් කළා ය.

මෙම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යතුමිය ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ සියලු බලධාරීන් එක්ව අ.පො.ස. උසස් පෙළට පෙනී සිටින දරුවන්ට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙන බවයි. එමෙන්ම විභාගය අවසන් කළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර ඉතා ආරක්ෂිතව ඇති අතර මේ වන විටත් ඒවායේ  ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බවත් සඳහන් කළ ඇය කිසිදු ආකාරයකින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස වැඩි දුරටත් සඳහන් කළා ය.

එමෙන්ම මාධ්‍ය හමුවේ දී අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා  අදහස් දක්වමින් පෙන්වා දුන්නේ දිවයිනේ සියලු ම මුස්ලිම් පාසල් අද සහ හෙට දිනයේ (27-28) වසා තැබෙන බවයි. පාසල් වාරයේ ඉතිරි කොටස  ආරම්භ කරන දිනය පසුව මාධ්‍යයට දැනුම් දෙන බව සඳහන් කළ ඒ මහතා  පවතින ආපදා තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වසා තැබීම පිළිබඳ බලය එම උපකුලපතිවරුන්ට ලබා දී ඇති බව පෙන්වා දුන් අතර අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන නිල ප්‍රවෘත්ති නිවේදන අනුව කටයුතු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

මේ අවස්ථාවේ දී විභාග කොමසාරිස් ජනරාල්තුමිය අදහස් දක්වමින් පෙන්වා දුන්නේ නොවැම්බර් 27, 28, සහ 29 යන දින තුනෙහි පැවැත්වීමට නියමිතව තිබූ විෂයන්  පවත්වන දින පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙන අතර  යහපත් කාලගුණයක් පැවතුණහොත් සඳුදා (දෙසැම්බර් 01) පෙර කාලසටහනට අනුවම විභාගය පැවැත්වෙන බවයි. එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ ආයතනික විභාග ශාඛාවෙන්  නොවැම්බර් 29 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ රෙජිස්ටාර් ජනරාල් සේවයේ I පන්තියේ III ශ්‍රේණියට අයත් සීමිත විෂය ධාරාව යටතේ බඳවා ගැනීමේ තරග විභාගය -2025 සහ නොවැම්බර් මස 30 වැනි දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික නොවන කාණ්ඩයේ III ශ්‍රේණියේ ක්‍රීඩා පුහුණු කරන නිලධාරීන් ගේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය  අයහපත් කාලගුණය හමුවේ කල් දමා ඇති බවත් ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments