බදාදා, පෙබරවාරි 25, 2026
Homeදේශීය පුවත්රුමේනියා සිහින පෙන්වා කෝටි ගණනක් වංචාකළ කාන්තාව කොටුවෙයි...

රුමේනියා සිහින පෙන්වා කෝටි ගණනක් වංචාකළ කාන්තාව කොටුවෙයි…

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට ආසන්න මුදලක් වංචාකර, සැගවී සිටි කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

මීට පෙර රුමේනියාවේ සේවය කළ කාන්තාවක් විසින් එරට සම්බන්ධතා උපයෝගි කරගනිමින්, රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 15ක් ලැබී තිබුණු අතර, එම පැමිණිලිවලට අදාළව ඇය අත්අඩංගුවට ගැනීමට විමර්ශන මෙහෙයවුවද සැකකාරිය විමර්ශන නිළධාරීන් මගහරිමින් සැගව සිට තිබේ. සැකකාරිය, පිළියන්දල, වැල්ලම්පිටිය, කොළොන්නාව හා කහතුඩුව යන ප්‍රදේශවල සිටින බවට ලද තොරතුරු අනුව ඇය අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථා ගණනාවකදී වැටලීම් සිදුකළද නිළධාරීන් අදාළ ස්ථානවලට ළගාවීමට පෙර ඇය එම ස්ථානවලින් පලාගොස් තිබේ. එම විමර්ශනවලදී මෙම ජාවාරම සඳහා සැකකාරියට සහය වූ තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

විමර්ශන නිළධාරීන් විසින් උපාය දූතයෙකු යොදාගනිමින් අදාළ කාන්තාව සම්බන්ධ කර ගත් අතර, ඒ අනුව ඇය උපාය දූතයාට විදේශ රැකියාවක් ලබාදීමට අදාළ ගිවිසුම් අත්සන් කිරිම සඳහා කොළොන්නාව ප්‍රදේශයේ නීතීඥවරයෙකුගේ නිවසට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් එම අවස්ථාවේදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ අලුත් කඩේ අංක 05 දරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් සිටීදැයි සොයා බැලීමට කාර්යාංශය විසින් තවදුරටත් විමර්ශන මෙහෙයවමින් සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments