යහපාලනයේ දූෂණ විරෝධී කමිටුවට තමා සම්බන්ධ නොවුණු බව හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (08 වැනිදා) පැවසීය. දූෂණ විරෝධී කමිටුවේ නිර්දේශ මත සාවද්‍ය මුදල් පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන අසත්‍ය චෝදනා මත කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පැවරීම තුළින් දේශපාලන පළිගැනීමක් සිදුවූ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (08 වැනිදා) යළි විභාගයට ගත් අවස්ථාවේදී විජයදාස රාජපක්ෂ මහතා එලෙස සාක්ෂි ලබා දුන්නේය.
දූෂණ විරෝධී කමිටුව නමින් කමිටුවක් යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වුවද තමා කිසිම දිනක එම කමිටුවේ රැස්වීමකට සහභාගි වී නොමැති බව හිටපු ඇමැතිවරයා සාක්ෂි දෙමින් පැවසීය.
රජයේ නීතිඥවරිය – දූෂණ විරෝධී කමිටුවට අදාළ කැබිනට් පත්‍රිකාවක් දමා තිබේද?
විජයදාස රාජපක්ෂ – ඔව්
රජයේ නීතිඥවරිය – එම කැබිනට් පත්‍රිකාවට කවුරුන් හෝ විරුද්ධ වුණාද?
විජයදාස රාජපක්ෂ – මෙම කැබිනට් පත්‍රිකාවට කවුරුත් විරුද්ධ වුණේ නැහැ. දූෂණ සෙවීම සඳහා පත්කරන කමිටුවකට කවුරුවත් විරුද්ධ වන්නේ නැහැ.
විනිසුරු චන්ද්‍රා ප්‍රනාන්දු – මෙම දූෂණ විරෝධී කමිටුවට අදාළ ලේඛනයේ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසකගේ නම් තිබෙනවා නේද? දූෂණ විරෝධී කමිටුව එමගින් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මගපෙන්වීමක්ද?
සභාපති විනිසුරු උපාලි අබේරත්න – එය මගපෙන්වීමක් නෙවෙයි. එයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට යම්කිසි පිරිසක් ඉලක්ක කර පරීක්ෂණ පැවැත්වීමට කියා තිබෙනවා නේද?
විජයදාස රාජපක්ෂ – සී.අයි.ඩී. සහ එෆ්.සී.අයි.ඩී. නිලධාරින් යම් පිරිසක් ඉලක්ක කර කටයුතු කර තිබෙන බව පේනවා.
රජයේ නීතිඥවරිය – මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ ගැටලුවක් තිබේද?
විජයදාස රාජපක්ෂ – අධිකරණමය කටයුත්තක් නොවන අවස්ථාවක මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශයට බලය තිබෙනවා.
ජනාධිපති කොමිසම – යම්කිසි කාරණාවක් මත මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන බවට උපකල්පනය කළ හැකිද?
විජයදාස රාජපක්ෂ – උපකල්පන මත මට සාක්ෂි දීමට නොහැකියි.
මෙම පැමිණිල්ලට අදාළ වැඩිදුර විමසීම ලබන 16 වැනි දිනට කල් තබන ලදී.