23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීම සඳහා වූ යෝජනාවක් රජයේ...

සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීම සඳහා වූ යෝජනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරයි.

ළමා අයිතිවාසිකම් හා සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීම සඳහා වූ යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරයි.

දරුවන් හට කොවිඩ් එන්නත් ලබා දීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ තාක්ෂණික කමිටුවේදී එන්නත් ලබාදෙන දරුවන් සඳහා හැඳුනුම්පත් අංකයක් නොමැති වීම පිළිබඳව අවධානය යොමුවූ අතර පවුල් සෞඛ්‍ය කාර්යංශය මින් පෙර දරුවන් සඳහා උපතේදී ජාතික හැදුනුම්පත් අංකයක් ලබා දීම පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව තාක්ෂණික කමිටුවේ අවධානය යොමු කෙරිණි.

තවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත්වසරේ දෙසැම්බර් (30) “නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව” වෙත යෝජනා කර සිටියේ ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙසත්, එම අංකය ඇතුලත් හැඳුනුම්පත අවුරුදු 16 දී හෝ ඉන් පෙර ඔවුන්ට ලබා දීමට කටයුතු කරන ලෙසත්ය.

මෙලෙස දරුවන් සඳහා උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා දීම මගින් ලැබෙන ප්‍රතිලාභ වනුයේ, මව් රටේ පුරවැසි අයිතිය පිළිබඳ හැඟීමක් දරුවන් තුල ඇති වීම, ළමා අපචාර හා ළමා මෙහෙකාර සේවය නිසා දරුවන්ට සිදුවන බලපෑමෙන් ආරක්ෂා කරගත හැකි වීම, දරුවන් සඳහා රට පුරා ඒකාකාරී සෞඛ්‍ය සේවාවක් තහවුරු කරන හඳුනාගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරී, දරුවන්ගේ අධ්‍යාපන හා සමාජයීය අවශ්‍යතා සැපිරීමේදී හඳුනාගැනීමේ රහස්‍ය අංකයක් ලෙස භාවිතා කිරීම, සීමිත සම්පත් දරුවන් වෙත ලබා දීමේදී සමානාත්මතාවය තහවුරු කරන ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම.
(උදා: කොවිඩ් එන්නත්කරණය )

ඉහත යෝජනාවලිය තුලින් දරුවන්ගේ අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂණය තහවුරු කර දෙන ආකාරය පෙන්වා දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමු කරන ලෙස ඉල්ලීමට කටයුතු කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments