23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගුරු-විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගයට අගමැති ලබාදුන් විසඳුම.

ගුරු-විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගයට අගමැති ලබාදුන් විසඳුම.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(12) දින පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති අදට දින 93ක් පුරා මෙම අරගලයේ නිරතව සිටියි.

අදාළ ගැටලුවට විසඳුම් ලබා දීමට මැදිහත් වූ අග්‍රාමාත්‍යතුමා අද දිනයේ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් අරලියගහ මන්දිරයට කැඳවා මෙම විසඳුම් යෝජනාව ඉදිරිපත් කළේය.

ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප පළමු අදියරයට 2022 වර්ෂයේ අය-වැය තුළින් ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අය වැය මගින් එම වසරේ දී ද ලබාදීමටත් මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළේය.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ගැටලුව පිළිබඳව රජය සංවේදි වන බවත් වැටුප් විෂමතා ඉවත්කළ යුතු බව තමන් පිළිගන්නා බවත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී පැවසීය.

කොවිඩ්-19 වසංගතය හමුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීම්  සීමා වීම නිසා එකවර මෙම ඉල්ලීම් ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍යතුමා පැවසීය.

දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් බාධාවකින් තොරව කරගෙන යාමේ අවශ්‍යතාව මත රජය මෙම විසඳුම් යෝජනාව හෝ ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ පැවසීය.

(09) දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කළ තීරණ ද ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සදහන් කළේය.

ඒ අනුව ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාල විධිවිධාන නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයටපත් කිරීම ඇතුළු අනෙකුත් නිර්දේශ මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද මෙම හමුවට වැඩම කළහ.

ගුරු විදුහල්පති සංගම් නියෝජනය කරමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ පුජ්‍ය යලේවෙල පඤ්ඤාසේකර හිමි,ලංකා පිරිවෙන් ගුරු සංගමයේ මීගහජඳුරේ සීලානන්ද හිමි,අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ වසන්තා හඳපාන්ගොඩ, ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ,සමස්ත ලංකා ගුරු උපදේශක සංගමයේ පී.එම් සමරකෝන්,සමස්ත ලංකා රජයේ ක්‍රියාකාරි විදුහල්පති සංගමයේ සිසිර කුමාර රත්නායක,විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමයේ ඩබ්ලිව් ඒ වීරකොඩි,රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ශෙහාන් දිසානායක, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ දිවානි හෙට්ටිගේ,ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ගුරු සංගමයේ එස් බාලසේගරම් මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම හමුවට එක්වූහ. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන්වන ගාමිණි ලොකුගේ,ඩලස් අලහප්පෙරුම,මහින්ද අමරවීර,උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත,පියල් නිශාන්ත ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.පී.එම් රත්නායක සහ ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් මහත්වරු ඇතුළු රජයේ නියෝජිත පිරිසක් ද ඊට එක්ව සිටියහ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments