ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වසර 2ක කාලක් සඳහා එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම්ගතව තිබේ.
34 හැවිරිදි සුරංග ලක්මාල්, ශ්‍රී ලංකා කණ්ඩායමේ එළැඹෙන ඉන්දීය තරග සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගැනීමට සූදානම් බව පසුගිය දා වාර්තා විය.
බී.බී.සී. ලෝක සේවය පවසන්නේ ඔහු ඉන් අනතුරුව එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග එක්වනු ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු මිකී ආතර් මහතා ද මේ වන විට ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානී ලෙස කටයුතු කරයි.
සුරංග ලක්මාල් එම කණ්ඩායමට එක් කර ගැනීම පිළිබඳව මිකී ආතර් සතුට පළ කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.
ටෙස්ට් තරග 68කට ක්‍රීඩා කළ සුරංග ලක්මාල් කඩුලු 168ක් දවා ගෙන සිටින අතර ටෙස්ට් තරග 5කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ද ලබා දී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයකු වන වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ එළැඹෙන ඉන්දීය ටෙස්ට් තරග සංචාරයෙන් පසු ජාත්‍යන්තර තරග දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සුරංග ලක්මාල් දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 5 කදී නායකත්වය හොබවා ඇති දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් 34 වැනි වියේ පසුවෙයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 68 කට ක්‍රීඩා කර ඇති ලක්මාල් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 168 කි.
කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.28 ක් රඳවා ගැනීමට සමත්ව සිටින ලක්මාල් කඩුලු 5 කට වඩා වැඩියෙන් දවා ගත් අවස්ථා 4 ක් සිය ටෙස්ට් තරග දිවියේ සටහන් කර ගැනීමට සමත්ව සිටීම විශේෂත්වයකි.
එක්දින තරග 86 කට සහ පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග 11 කට ක්‍රීඩා කර ඇති සුරංග ලක්මාල් පිළිවෙළින් කඩුලු 109 ක් සහ 8 ක් වශයෙන් දවා ගැනීමට සමත්ව සිටී.
පිතිකරණයෙන් ද දක්ෂතා දැක්වීමට සමත්වූ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයා ටෙස්ට් අංශයෙන් ලකුණු 928 ක් සහ එක්දින තරග අංශයෙන් ලකුණු 244 ක් ලබාගෙන තිබේ.