29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ණය සීමාව රුපියල් ට්‍රිලියනයකින් වැඩිකිරීමට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය.

ණය සීමාව රුපියල් ට්‍රිලියනයකින් වැඩිකිරීමට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද 2022.04.09 දිනැති අංක 2274/42 ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි සඳහා ද පාර්ලිමේන්තුවේ අනුමතිය,රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට…

දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මීට පෙර පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් අවසර දෙන ලද ණය සීමාව වන රුපියල් බිලියන 3000 (ට්‍රිලියන 3) ප්‍රමාණය තවත් රුපියල් බිලියන 1000 කින් (ට්‍රිලියනයක්) වැඩි කිරීම සදහා වූ යෝජනාවට අද විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීම සිදුවිය.

මේ අනුව රුපියල් බිලියන 1000කට (ට්‍රිලියනයක්) නොවැඩි මුදලක් ශ්‍රී ලංකා ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් ණයට ගැනීමටත් එම කාර්යය සඳහා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ 2 (1) වගන්තිය යටතේ අවශ්‍ය සියලුම අවසරය මුදල් අමාත්‍යවරයාට ලබාදීමත් සිදුවේ.

1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත සහ ඊට පසුව කරන ලද සංශෝධනයන්ට අනුව, පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයකින් අනුමත කරන ලද නියමිත මුදල නොඉක්මවා, ශ්‍රී ලංකා ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ණය ලබා ගැනීම සිදුවේ.

මේ අනුව 2021 දී, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් අවසන් වරට අනුමත කරන ලද ඉහළ සීමාව රුපියල් බිලියන 3000 ක් (ට්‍රිලියන 3) වන අතර, 2022 අප්‍රේල් අවසන් වන විට ගෙවීමට ඇති මුළු භාණ්ඩාගාර බිල්පත් වටිනාකම රුපියල් බිලියන 2,860 ක් පමණ වේ.

COVID 19 වසංගය ආශ්‍රිත තත්වයන් සහ අනෙකුත් හේතූන් මත රජයේ ආදායම් රැස් කිරීම අපේක්ෂා කළ මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අඩු වීමත් 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ අනුමත වියදම් ණය සේවාකරණ ගෙවීම් වලට අමතරව විශේෂයෙන්ම පුනරාවර්තන වියදම් සහ සුභසාධන වියදම් දැරීමට සිදුවීමත් මෙලෙස ණය සීමාව ඉහළ දැමීමමට හේතුවී ඇත.

තවද මෙරට ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීම හේතුවෙන් විදේශීය මුලාශ්‍රවලින් අරමුදල් රැස්කර ගැනීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළවලට ප්‍රවේශවීමට ඇති අවකාශය අහිමිවීම හමුවේ, දේශීය මුලාශ්‍රවලින් ණය ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශයට සිදුව ඇත.

මේ අතර 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද 2022.04.09 දිනැති අංක 2274/42 ගැසට් පත්‍රයේ සදහන් 2022 අංක 6 දරන ආනයන හා අපනයන පාලන රෙගුලාසි සදහා පාර්ලිමේන්තුවේ අනුමතිය අද හිමිවිය.

කර්මාන්ත සහ අත්‍යාවශ්‍ය සේවා සදහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මූලිකත්වයක් ලබා දීමේ අභිප්‍රාය ඇතිව මුදල් අමාත්‍යාංශය විසින් හදුනාගන්නා ලද අත්‍යාවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම තුළින් විදේශ විනිමය බැහැරවීම අවම කිරීම මෙම රෙගුලාසි පැනවීම මගින් අපේක්ෂා කර ඇත.

මේ අනුව තෝරා ගන්නා ලද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අතුරින් භාණ්ඩ 369ක් ආනයනය කිරීම සදහා ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතා පැනවීමේ යෝජනාව බලාත්මක කිරීම පිණිස රෙගුලාසි පනවා 2022.04.09 දිනැති අංක 2274/42 දරන ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කරන ලදී.

එසේම අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ පිළිබද විවාදය හෙට (08) පැවැත්වීමට නියමිතය.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට සිදු කළ විශේෂ ප්‍රකාශයට අදාළව රටේ වත්මන් තත්ත්වය පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්විණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments