Home දේශීය පුවත් ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය පිළිබඳව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයෙන්...

ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය පිළිබඳව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයෙන් නව ශක්‍යතා අධ්‍යයනයක්.

0
1

ලංකා ධීවර සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් පළවන පුවත්වල කිසිදු සත්‍යතාවක් නෑ.

නව ශක්‍යතා අධ්‍යයනයකින් පසු ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය. මේ පිළිබඳ අදහස් පළවුයේ ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මේ අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාද සහභාගී විය.

මෙම රැස්වීමේදී ඔලුවිල් ධීවර වරාය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය . නිසි අධ්‍යයනයන් සිදු නොකර ඔලුවිල් වරාය ඉදිකිරීමෙන් සිදුවන හානිය නිවැරදි කිරීම සඳහා නව ශක්‍යතා අධ්‍යයනයන් සිදු කරන බවත්, ඒ මත පදනම්ව අනාගත සැලසුම් සකස් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මීට අමතරව, නැගෙනහිර පළාතට ධීවර වරායක අවශ්‍යතාවය සපුරාලීම සඳහා වාලච්චේන ප්‍රදේශයේ ධීවර වරාය 2026 දී නව පහසුකම් සහිත පුළුල් ධීවර වරායක් බවට පත් කිරීමටත්, එම ප්‍රදේශයේ ධීවර කර්මාන්ත සඳහා අවශ්‍ය අයිස් නිෂ්පාදනයට කර්මාන්ත ශාලාවක් පිහිටුවීමටත් සැලසුම් කර ඇති බව ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, ලංකා ධීවර සංස්ථාව ඈවර කිරීමට පවතින රජයේ ආයතන ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාව පිළිබඳව විමසීමක් කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එම වාර්තාවන් සත්‍ය නොවන බව පැවසුවේය. එලෙස අසත්‍ය වාර්තා පලවීම කෙසේ වුවාද යන්න පිළිබඳව අමාත්‍යාංශයටද ගැටලුවක් ව පවතින බවත් රජය එවැනි තීරණයක් ගෙන නොමැති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

තවද මෙහිදී ධීවරයින් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා නොවැම්බර් 21 වන දින සිට මේ රටේ සමස්ත ධීවර ප්‍රජාව සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන බව ප්‍රකාශ කළේය. ඒ අනුව එය දායක විශ්‍රාම වැටුපක් ලෙස හැඳින්විය හැකි බැවින් ධීවර ප්‍රජාවට ඔවුන්ගේ දායකත්වයේ ප්‍රමාණය අනුව ප්‍රතිලාභ ලබා දෙන නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන බවත් තවදුරටත් අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
මෙම රැස්වීමේදී රටේ අනෙකුත් ප්‍රදේශවල ධීවරයින් මුහුණ දෙන ගැටලු ඇතුළු අමාත්‍යාංශ විෂය පථයට අදාළ කරුණු රැසක් පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙම රැස්වීම සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here