යුධ හමුදා විශේෂ බලකායේ සේවය කර පලා ආ පුද්ගලයකු ඉතා රහසිගතව සූක්ෂම ලෙස වගා කරන ලැබු ගංජා හේනක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිට විතාන මහතාගේ අධීක්ෂණයෙන් හම්බන්තොට කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.ජි.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) තිස්සමහාරම පොලිස් වසමේ 03 කොළණිය, කුඩාගම්මානය, බෙරලිපොල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ඉතා රහසිගතව සූක්ෂමව නීති විරෝධී ලෙස අක්කර ½ ක පමණ භූමි ප්‍රදේශයක වගා කරන ලද ගංජා ගස් 3,000 ක් පමණ වන ගංජා හේනක් සමඟ 03 කොළණිය, කුඩාගම්මානය, බෙරලිපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක් වන යුධ හමුදා විශේෂ බලකායේ සේවය කර පලා ආ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා ගස් 10 ක් තිස්සමහාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිනි තබා විනාශ කර ඇත.
