මෙරට වැඩකරන ජනතාව , ගොවි ජනතාව, ධීවර ජනතාව, ඉතා කුඩා වෙළඳසැල්, විවිධ මාර්ගවලින් එදිනෙදා ජීවන වෘත්තිය රැකගත් ඉතාමත් දිලිඳු ජනතා කොටස් කරකියාගත හැකි දෙයක් නොමැතිව ඉතා අසරණ තත්ත්වයට පත්වී සිටිති.මෙවන් තත්වයක් තුළ වෘත්තිය සමිති ලෙස නිහඬව සිටීම අපගේ වගකීම පැහැර හැරීමක් බව සිල්වෙස්ටර් ජයකොඩි මහතා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා කරුණු වැඩිදුරටත් මෙසේ කියා සිටියි. COVID-19 ට මුවාවී අප නොදන්නා නොදකින බොහෝ දේ තිරයෙන් පිටුපස සිදුවන බව දැන් දැන් ලැබෙන තොරතුරුවලින් අපට පැහැදිලි වේ. වත්මන් පාලනය යටතේ අති විශාල වෙනස්කම් සහ වංචාවට , දූෂණයට එරෙහිව ක්‍රමවත් මෙන්ම, ජනතා හිතවාදී ක්‍රියාදාමයක් අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු තබා සිටි බොහෝදෙනා මේ වන විට, ඉච්ඡා භංගත්වයට පත්ව ඇත. 1978 ව්‍යවස්ථාවට මුල සිට ම විරුද්ධවූ අප, එක් පුද්ගලයෙකු වටා භ්‍රමණය වන්නා වූ, පාර්ලිමේන්තුවේ සිටින ඊනියා මහජන නියෝජිතයන් 225, හුදෙක් සිග්නල් කණු බවට පත්වී ඇති බව මේ වන විට කාටත් පසක් වී තිබේයයි සිතමු. මෙම ඊනියා මහජන නියෝජිතයන් විවිධාකාර විකාර සංදර්ශන පවත්වමින් සහ පසුගිය රජය නොකලදේ ගැන කියමින් කරනු ලබන සුපුරුදු ක්‍රීඩාව හා ඇතැම් ක්‍රියාකාරකම් ඇත්ත වශයෙන්ම මිනිස් බුද්ධියට නිග්‍රහ කරන්නක් ලෙස අප සලකමු. 20 ව්‍යවස්ථාව සම්මත කර ගන්නා තෙක් පැවති රටේ සාමාන්‍ය තත්ත්වය, ඉන් දින කිහිපයක් ගත වෙත්ම වසංගතය ශීඝ්‍රයෙන් රට පුරා පැතිරීමේ තත්ත්වය, දිවා රෑ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කරමින්, මහජනයා භීතියට හා සන්ත්‍රාසයට පත් කරමින්, මහජන සම්බන්ධතා පවත්වාගෙන යාම අත් හිටුවා ඇත. රැස්වීම් හෝ එක්ව සාකච්ඡා කිරීම, ඒකාරාශී වීම ක්‍රමක්‍රමයෙන් නිල තහනම් පමුණුවා ඇත. මෙම සංදර්භය තුල මෙරට වැඩකරන ජනතාව , ගොවි ජනතාව, ධීවර ජනතාව, ඉතා කුඩා වෙළඳසැල්, විවිධ මාර්ගවලින් එදිනෙදා ජීවන වෘත්තිය රැකගත් ඉතාමත් දිලිඳු ජනතා කොටස් කරකියාගත හැකි දෙයක් නොමැතිව ඉතා අසරණ තත්ත්වයට පත්වී සිටිති. මෙවන් තත්වයක් තුළ වෘත්තිය සමිති ලෙස නිහඬව සිටීම අපගේ වගකීම පැහැර හැරීමක් ලෙස මම කල්පනා කරමි. මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් අපේ මතය ජනතාව වෙත ගෙන යාමට අප දරන උත්සාහය කිසිදු ඵලක් ඇති දෙයක් ලෙස මට නොපෙනෙන්නේ මාධ්‍ය ආයතන, කෙසේ වුවත් වෘත්තිය සමිති වලට තිබෙන බිය නිසා අපි පළකරන අදහස් ඒ අයුරින්ම විකාශනය නොකරන බැවින් සහ ඔවුන් පක්ෂපාතිත්වය දක්වන පක්ෂයට එරෙහිවීමට ඔවුන්ට ඇති නොහැකියාවත් නිසා අපේ පණිවිඩය ජනතා ගත වන්නේ නැත. මෙම සන්දර්භය තුළ අප හැකි ඉක්මනින් කුමන බාධක මධ්‍යයේ වුවද මුහුණට මුහුණලා සාකච්ඡාවක් කළ යුතු බව මා විශ්වාස කරමි . රාජ්‍ය අංශයේ තිබෙන වෘත්තිය සමිති , ජාතික කම්කරු උපදේශක සභාවේ සිටින වෘත්තිය සමිති, වෙනත් ක්ෂේත්‍ර වල තිබෙන වෘත්තීය සමිති, පොදු සාකච්ඡාවක් හැකි ඉක්මනින් සංවිධානය කිරීමට මා යෝජනා කරමි . මේ සඳහා අප සංගමය කාර්‍යාල ශාලාව ලබාදීමට අපට හැකිය. ඒ සඳහා සෑම වෘත්තිය සමිතියකින්ම දෙදෙනෙකු බැගින් සහභාගි කරවා ගත හැක. සෞඛ්‍ය බලධාරීන් කියන ආකාරයට සමාජ දුරස්ථභාවය තබාගනිමින් 400කට පමණ රැස්වීමට අපගේ ශාලාවේ හැකියාවක් ඇත. මේ සඳහා ඔබ සහෝදරවරුන්ගේ අදහස් හැකි ඉක්මනින් දන්වන්නේ නම් ලබන සතිය ඇතුළත එම සාකච්ඡාව සංවිධානය කිරීමට අපට හැකිවනු ඇත.
පවතින තත්වය තුළ වෘත්තිය සමිති ලෙස නිහඬව සිටීම වගකීම පැහැර හැරීමක්
RELATED ARTICLES
ඔබේ වෙබ් පිටුව කාලීන අවශ්‍තාවයක් ඉටුකරයි.
අපේ සුභ පැතුම්.
සිල්වෙස්ටර් ජයකොඩි
ප්‍රධාන ලේකම් CMU