2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පසුගිය මාස කිහිපය තුළ ආණ්ඩුව රාජ්‍ය බලය භාවිත කරමින් විවිධ තීන්දු ගනු ලැබූ බව ඉතා පැහැදිළිව නිරීක්ෂණය වන කරුණකි. එවැනි පරිසරයක් තුළ 2024.08.13 රාජ්‍ය සේවකයින්ගේ වැටුප 2025 වර්ෂයේ සිට රු.25000 කින් ඉහළ දැමීමට ගත් තීරණය රාජ්‍ය නිලධාරීන්ට ඍජු බලපෑමක් එල්ල කළ හැකි තීරණයකි.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර වෘත්තීය සමිති රු. 10000 ක් වැටුප වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ අවස්ථාවේදී එසේ ලබාදීමට මුදල් නොමැති බව රජය ප්‍රකාශ කරන ලදි. එමෙන්ම රජය වරින්වර ප්‍රකාශ කළේ රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කළ යුතු බව ය. එවැනි පරිසරයක් තුළ රාජ්‍ය සේවකයන් උද්ඝෝෂණ හරහා ඉල්ලූ මුදලටත් වඩා වැඩි මුදලකින් වැටුප් වැඩි කිරීමට තීන්දු කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ නිදහස් මතයට බලපෑම් එල්ල කරන්නකි.
එමෙන්ම 2025 වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට ඉඩකඩ තිබිය දී මැතිවරණයක් ආසන්නයේ මෙසේ වැටුප් වැඩි කරන බවට තීන්දු ගැනීම ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන ගත් තීරණයක් බව පෙනී යයි. එමෙන්ම එවැනි වැඩි කිරීම් ඊ ළඟට පත්වන කැබිනට් මණ්ඩලය ගත යුතු තීන්දුවක් මෙන්ම 2025 අය වැය හරහා කළ යුතු කරුණකි.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අපට විරෝධයක් නොමැති වුවද මැතිවරණයක් ආසන්නයේ ගනු ලබන මෙවැනි තීරණ ඍජු ලෙසම රාජ්‍ය සේවකයන්ගේ නිදහස් තීන්දුවට බලපෑමක් වන බැවින් මේ පිළිබඳව සොයා බලා ඊට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.