ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයේ 75 වන සංවත්සරයට සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළ බව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
ධර්මාශෝක රජු සමයේ ඉදිකළ පසුව නටඹුන් බවට පත් වූ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි ස්ථූප සංකීර්ණයෙන් බ්‍රිතාන්‍ය පාලන සමයේ පුරාවිද්‍යාඥයන් සොයා ගත් සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා තැන්පත් කර ඉදිකර,1952 ඉංදීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරුතුමන් විවෘත කළ මෙම විහාරයට 2027 නොවැම්බර් මාසයේ දී වසර 75 පිරීම නිමිත්තෙන් පවත්වන සාංචි මහාබෝධි මහෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙස ජනාධිපති අනුර කුමර දිසානායක මහතා ඊයේ (22) හමු වී ආරාධනා කළ බවත්, එතුමා එම ආරාධනය පිළිගත් බව බානගල නා හිමියෝ පවසති.
එහි දී ජනාධිපතිතුමා සමඟ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සහ ඉන්දියාවේ,ජපානයේ ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ යොෂීඩා සමාජ හා සංස්කෘතික පදනම ක්‍රියාත්මක කරන ළමා අධ්‍යාපන හා සමාජසේවා කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
මුම්බායි හි ප්‍රකට මාධ්‍යවේදී ශකීල් සිද්දික් මහතා රචනා කළ බානගල උපතිස්ස නා හිමි චරිතාපදානය වන “අංජලිකරණීයෝ’ ග්‍රන්ථයේ පිටපතක් බානගල නා හිමියෝ මේ අවස්ථාවේ ජනාධිපතිතුමන්ට පිරිනමනු ලැබූහ.
මෙම අවස්ථාවට සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ, ලුණුගම්වෙහෙර විමලානන්ද
හිමියෝ සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලේකම් චන්න කළුගම්පිටිය මහතා ද සහභාගි වූහ.



