27 C
Sri Lanka
Monday, June 23, 2025
HomeTOPරක්ෂණ නියෝජිතයින් 45000ට EPF හා ETF කම්කරු ඇමැතිගෙන් නියෝගයක්.

රක්ෂණ නියෝජිතයින් 45000ට EPF හා ETF කම්කරු ඇමැතිගෙන් නියෝගයක්.

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් ලෙස සේවය කරනු ලබන 45,000 ට ආසන්න පිරිසකට නිසි සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත. එම නිසා ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව පිළිබඳව සහ ආයතනගත වෘත්තීය බැඳීම පිළිබඳ නිශ්චිතතාවයක් මෙතෙක් ගොඩනැඟී නොමැති බැවින් කොන්ත්‍රාත් පදනමින් සේවය කරන අයද සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට දායක කිරීම අනිවාර්ය කොට ඔවුන්ගේ ඉපයීම් පදනම් කරගෙන සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට ඔවුන් දායක කර ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ සඳහා මෙම පිරිස වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට දායක මුදල් බැර කිරීම අනිවාර්ය කෙරෙන නීතිමය රාමුවක් වහා සැකසීමට පියවර ගන්නා ලෙස ඇමැතිවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග ක⁣ළේය.
ඒ මහතා මේ කරුණු සඳහන් කළේ ඉකුත් (30) අමාත්‍යාංශයේ පැවැති මෙරට ක්‍රියාත්මක විවිධ රක්ෂණ සමාගම් (23 )විසි තුනකට අනුබද්ධව ශ්‍රී ලංකා පුරා විසිරී සිටින ජීවිත රක්ෂණ නියෝජිතයන්ගේ සංවිධානයන්හි නියෝජිත හමුවකදීය.

රක්ෂණ නියෝජිතයන් මුහුණ දී ඇති අනාගත හා වෘත්තිය අස්ථාවරත්වය පිළිබඳ දශක ගණනාවක් පුරා විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් ඇතත් ඒ මේ සඳහා සාධනීය පියවරක් මෙතෙක් ඉදිරිපත් නොවූ බව රක්ෂණ නියෝජිතයෝ පෙන්වා දුන්හ.විශේෂයෙන් කොවිඩ් වසංගත තත්වය හමුවේ තම වෘත්තීයට දැඩි බලපෑමක් එල්ල වූ බවත්,මෙම රක්ෂණ සමාගම් තමන් එම සමාගමේ සේවකයන් ලෙස සැලකීම අතපසු කොට ඇති බවත් එම රක්ෂණ නියෝජිතයෝ කරුණු දැක්වූහ.එසේම රක්ෂණ සමාගම්වල සෙසු පොදු රක්ෂණ අලෙවි නියෝජිතයන්ට එම සමාගම්වල ස්ථීර පත්වීම් ලබා දෙමින් සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ දායකත්වය ලබා දී තිබිය දී ,ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන්ට පමණක් එය ලබා නොදෙන බව ද මෙම අලෙවි නියෝජිත සියලු දෙනාටම ලබාදී ඇත්තේ එකම පත්වීම් ලිපියක් බව ද මෙහි දී ජීවිත රක්ෂණ අලෙවි වෘත්තීය නියෝජිතයෝ ප්‍රකාශ කළහ.මෙම රක්ෂණ ක්ෂේත්‍රයේ වසර විස්සකට අධික කාලයක් අඛණ්ඩව සේවය කරන ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් සිටින බවත් ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාවයට කිසිදු වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක ව නොමැති නිසා රජයෙන් එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින බවත්,ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් පිළිබඳ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කතා කළේ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා බැවින් ඔහුට සිය සමස්ත සාමාජිකත්වය ප්‍රණාමය පුද කරන බව ද ඔවුන් කීහ.

රක්ෂණ ක්ෂේත්‍රය යනු දැනට ශ්‍රී ලංකාවේ අධික ලාභයක් හා ආදායමක් ලබන ක්ෂේත්‍රයක් බවට පත්වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ පිළිබඳ රක්ෂණ සමාගම් පාලක නියෝජිතයන් කැඳවා සාකච්ඡා කොට රක්ෂණ අලෙවි නියෝජිතයන්ගේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ සඳහා ඉක්මන් විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවත්,ඒ සඳහා අවශ්‍ය කම්කරු නීති රාමුව සකස් කිරීම කඩිනමින් ආරම්භ කරන බවත් පැවසීය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ,කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් ගේ ජාතික සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.චන්ද්‍ර බණ්ඩාර මහතා ද ලේකම් රමේෂ් පතිරණ මහතා ද ජාතික සංවිධායක ඩී.බී.ජේ.සුරංග මහතාද භාණ්ඩාගාරිකා ඉනෝකා පෙරේරා මහත්මිය ද සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments