අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශිවික සමුළුවක් අද (26) පැවැත්විමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාතාංශය සඳහන් කළේ, ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග පැවැති දුරකථන සංවාදයක දී මෙම සමුළුව පැවැත්විම සම්බන්ධයෙන් එකඟතාව පළ වූ බවය.
පසුගිය අගෝස්තු 06 වන දින අභිනවයෙන් පත් වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග දුරකථන සංවාදයක් පැවැත් වු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විඩියෝ තාක්ෂණය ඔස්සේ දෙරට අතර සමුළුවක් පවත්වා බහුවිධ ද්විපාර්ශවික සබඳතාවය සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ.
මෙහිදී දේශපාලන, ආර්ථික, මූල්‍ය, සංවර්ධනය, ආරක්ෂක ,අධ්‍යාපනික, සංවාරක සහ සංස්කෘතික කටයුතු මෙන්ම අන්නෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර ගැටලුවලදී ද්විපාර්ශවික මැදිහත්විම් යනාදි කරුණු පිළිබඳව අවධානය යොමු කිරිමට නියමිතය.
මෙම සමුළුව සඳහා දෙරටේ අදාළ විෂය භාර අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
පසුගිය මාසයේ දී අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදේශ රටක නායකයෙකු සමග විඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන පළමු සමුළුව මෙය වෙයි.
මේ අතර ඉන්දීය ධීවරයන් ට්‍රෝලර් යාත්‍රා මඟින් අනවසරයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වී මසුන් මැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයන් මුහුණ පා ඇති ගැටලුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
උතුරේ ධීවර සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දීරයේ පැවැති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය ඉන්දියාව තුළ උග්‍රවීමත් සමඟ ඉන්දියානු යාත්‍රා අත්අඩංගුවට ගැනීම සිදුනොවන බැවින් ඉන්දියානු යාත්‍රා වැඩි වශයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවන බව එහිදී අනාවරණය වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ අනවසරයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළුවන ඉන්දීය ධීවරයන්ගේ අර්බුදයට විසඳුමක් බලාපොරොත්තුවෙන් එය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දන්වා සිටින බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
අනවසරයෙන් ඇතුළුවන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද අග්‍රාමාත්‍යවරයා එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.