28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොවිඩ් තත්ත්වය නිසා මේ වසරේ රුපියල් බිලියන 27ක සුරාබදු ආදායමක් රජයට අහිමියි...

කොවිඩ් තත්ත්වය නිසා මේ වසරේ රුපියල් බිලියන 27ක සුරාබදු ආදායමක් රජයට අහිමියි – කෝපා කමිටුවේදී අනාවරණය වෙයි.

පවතින කොවිඩ් තත්ත්වය නිසා මේ වසර තුළ මේවන විට රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් M.J ගුණසිරි මහතා පසුගියදා (22) පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුවේදී) පැවසීය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160ක් වුවද පවතිත තත්ත්වය හමුවේ ඊට ළගා වීම අපහසු බවත් සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට පෙන්වා දුන්නේය.

ඒ මහතා මේබව පැවසුවේ සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළව 2019 වර්ෂය සදහා වූ විගණාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද විමසා බැලීම සදහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව  පසුගියදා (22) රැස්වූ අවස්ථාවේදීය.

සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්ත‍මේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව එකිනෙකට සම්බන්ධ වන පරිඝණක පද්ධතියක් සැකසීම සම්බන්ධයෙන් 2019 වසරේදී පැවති කෝපා කමිටු රැස්වීමවකදී නිර්දේශ ලබාදී තිබුණද එය මේ දක්වා ක්‍රියාත්මක කර නොතිබීම පිළිබදව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

තවද දෙපාර්තමේන්තුවේ සුරාබදු ආදායම ගණනය කිරීමේ ක්‍රියාවලිය නිවැරදි කිරීමට අදාළව පරිඝණක මෘදුකාංග පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද කමිටුව අවධාරණය කළ අතර   2016 වර්ෂයේ සිට 2018 වර්ෂය සදහා අයවැය සහ පරිපූරක  මගින් ප්‍රතිපාදන වෙන් වී තිබුණද එම ව්‍යාපෘතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නොතිබීම පිළිබදව ද ‍අවධානය මෙහිදී යොමු විය. මේ අනුව දෙපාර්තමේන්තුව අයත් සියලුම ආයතන ඒකාබද්ධ කරමින් ද  ඉතා කඩිනමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙන ලදී.

මේවන විට පරිඝණක පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා කටයුතු ආරම්භ කර ඇති බව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට දන්වා සිටියේය. එහිදී කමිටුව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර සිටියේ මෙම පරිගණක පද්ධතිය ස්ථාපිත කිරීමට අදාළ කාලරාමුව නිශ්චිත සැලැස්මක් සහිතව  නොවැම්බර් 05 වනදාට පෙර කඩිනමින් කෝපා කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.

රජයේ ආදායම් වර්ධනය කිරීම සදහා මත්පැන් බෝතල් හා මත්පැන් බෝතල් ආශ්‍රිත නිෂ්පාදන සදහා වන ආරක්ෂිත ස්ටිකර් සැපයීම හා ආරක්ෂිත ස්ටිකර් කළමණාකරණ පද්ධතියක් සැකසීමේ කටයුතු ප්‍රමාද වීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. ප්‍රධාන නිෂ්පාදන සමාගම් විසින් ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබීම, පවතින කොවිඩ් තත්ත්වය  ඇතුළු කරුණු කාරණා නිසා මෙම ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසූ අතර මෙම කටයුතු කඩිනම් කරන ලෙස කෝපා කමිටු සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්න අලගියවන්න මහතා පෙන්වා දුන්නේ රජයට තෙවැනි ඉහළම ආදායම ලබා දෙන සුරා බදු දෙපාර්තමේන්තුවට හිමිවිය යුතු නිසි ආදායම ලබා ගැනීමට නම් උක්ත සදහන් කළ ව්‍යාපෘති කඩිනම් කළ යුතු බවයි. මීට පෙර ද කෝපා කමිටුව විසින් ලබාදී ඇති මෙම නිර්දේශ තවදුරටත් ප්‍රමාද නොකොට කඩිනමින් ඉටුකිරීමේ අවශ්‍යතාව කමිටුවේදී දැඩිව අවධාරණය කෙරිණි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන  ලසන්ත අලගියවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රසන්න රණවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, අශෝක් අබේසිංහ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, ෆයිසාල් කාසිම් සහ B.Y.G රත්නසේකර යන මහත්ම මහත්මීහූ ද  මුදල් අමාත්‍යාංශ ලේකම් S.R ආටිගල මහතා සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments