මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ දී එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු වන දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයෙකු වූ අනුර ලෙව්කේ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේ, අපරාධ චෝදනා යටතේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවය.
මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා පාර ප්‍රදේශයේ පසුගිය 20 වනදා අලුයම පස් මහල් ගොඩනැගිල්ලක් තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එක හමාරක් වයසැති බිළිඳියක සහ ඇයගේ මව සහ පියා ජීවිතක්ෂයට පත්විය.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් සිදුකරනු ලැබූ දීර්ඝ විමර්ශනයකට අනුව ගිලා බසින ලද එම ගොඩනැගිල්ලේ හිමිකරු අද (29) උදෑසන මහනුවර පොලීස් ස්ථානයට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද පස්වරුවේ මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.