25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedආහාර අර්බුදය විසඳීම සඳහා වූ කෙටිකාලීන යෝජනාවලියක් මව්බිම වෙනුවෙන් පුරවැසියෝ සංවිධානයෙන්.

ආහාර අර්බුදය විසඳීම සඳහා වූ කෙටිකාලීන යෝජනාවලියක් මව්බිම වෙනුවෙන් පුරවැසියෝ සංවිධානයෙන්.

වර්තමාන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ වැරදි ආර්ථික කළමනාකරණය හා තීන්දු තීරණ නිසාවෙන් ඇති වූ බඩු මිල ඉහළ යෑම සහ භාණ්ඩ හිගය උග්‍රවිය. එම අර්බුදය තීව්‍ර කරමින් ගෑස් හිගය, ඉන්ධන හිගය, විදුලි හිගය ඇති විය. මේ හේතූන් නිසා කූඨ ව්‍යාපාරිකයින් විසින් ආහාර තොග රැස් කිරීමට පටන් ගැනුණි. යම් තරමින් හෝ පවත්වාගෙන ආ ආහාර සැපයුම් ජාලය බිඳ වැටුණි. කළු කඩ වෙළඳාම නොසිතුවාට වඩා වේගයකින් ආරම්භ වුණි. මුදලේ අගය පහත වැටුණු අතර ජනතාවගේ ආදායම් මාර්ග ක්‍රම ක්‍රමයෙන් කඩා වැටුණි. ජනතාවට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව සීග්‍ර ලෙස පහත වැටුණි. කෘෂිකර්මාන්තයේ සඳහා පොහොර, කෘෂිරසායන, වල් නාශක ඇතුළු කෘෂි යෙදවුම් හිගවීම නිසා ඇතැම් භෝග නිෂ්පාදනය අඩාල විය.
 ඉහත කාරණා ඇතුළු හේතු බොහෝමයක් මුල්කොටගෙන රට තුළ ආහාර නිෂ්පාදනයේ  අඩුවක් සිදු වී ඇති බවට බොහෝ පිරිසක් හේතු දක්වන්නට විය. ඔවුන්ගේ නිගමනයන්ට අනුව ඉදිරි මාස තුන, හය කාලය තුළ රට තුළ ආහාර හිගයක්, ආහාර අර්බුදයක්  ඇති වන බවට අදහස්  හා මතවාද පවතී.
 එසේනම් කඩිනමින් කළ යුත්තේ කුමක්ද? ඒ පිළිබඳ විටින් විට විවිධ විද්වතුන්, උගතුන්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති පුද්ගලයින්, විවිධ සංවිධාන මේ පිළිබඳව අදහස් දැක්වීම් දක්නට ලැබුණි.
 නමුත් ඒ පිළිබඳව පුළුල් සංවාදයක් සාකච්ඡාවක් ගැඹුරින් සලකා බැලීමක් සිදු නොවුනු බවයි අප සංවිධානයේ හැඟීම. 
 එසේනම් කඩිනමින් අප විසින් කළ යුතු යෝජනා මෙසේ ඉදිරිපත් කරමි. 
 වී, එළවළු, පලතුරු හා අතිරේක බෝග වගාවන් ඇතුළු සියලු වගාවන් සඳහා උපරිම බදු සහන කඩිනමින් ලබා දීමට කටයුතු කිරීම.
 සහල්, එළවළු, පලතුරු ඇතුළු කෘෂි බෝග රටපුරා විධිමත් ලෙස  බෙදාහැදෑරීම සඳහා දැනට ස්ථාපනය කර ඇති ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාවලිය ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා වන පරිදි ක්‍රියාත්මක කිරීම.
 හැකි ඉක්මනින් ගොවිතැනට අවශ්‍ය  පොහොර, කෘෂිරසායන ඇතුළු යෙදවුම් කඩිනමින්  ලබා දීමට කටයුතු කිරීම.
 දැනට විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය දේශීයව වගා කිරීමේ හැකියාව පිළිබඳ කඩිනමින් සොයා බැලීම,බතල, මඤ්ඤොක්කා, මුං වැනි මාස තුනක් වැනි කෙටි කාලීනව වගා කළ හැකි භෝග පිළිබඳ ව ජනතාව, ගොවිජනතාව දැනුවත් කර ඒ සඳහා වගාවන්ට යොමු කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම,කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල අදාළ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආයතනයන්හි කාර්යක්ෂමතාවය පිළිබඳව කඩිනමින් සොයා බැලීම,එම ආයතනයන් තුල සිදුවන අකාර්යක්ෂමතාව, නාස්තිය, දූෂණය, රාජ්‍ය සම්පත් අවභාවිතය වළකාලීම සඳහා කඩිනම් ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම, නිසි විගණනය හා පසුව විපරම් ක්‍රමවේදයක් සකස් කිරීම,ගොවියාගේ ජීවිත සුරක්ෂිතතාවය සඳහා ගොවි බැංකු ක්‍රමයක්, ගොවි රක්ෂණ ක්‍රමයක්, ගොවි සෞඛ්‍ය ක්‍රමයක්, ගොවි අරමුදලක් ආරම්භ කිරීමට කටයුතු කිරීම,
 ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක්, ජාතික බීජ ප්‍රතිපත්තියක්, ජාතික ජල ප්‍රතිපත්තියක්,  පොහොර, කෘෂිරසායන, කෘෂි යෙදවුම් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක්,  කඩිනමින් ක්‍රියාවට නැංවීමට කටයුතු කිරීම.
 ගොවියාත්, පාරිභෝගිකයාත්, නිෂ්පාදකයත්,  ආරක්ෂා වන පරිදි ආහාර ද්‍රව්‍ය සඳහා සහතික මිල පාලන ක්‍රමවේදයක්  නිසියාකාරව ක්‍රියාවට නැංවීම.
 කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි සුළු වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛස්ථානය දී කෘෂිකාර්මික යටිතල පහසුකම් කඩිනම් සංවර්ධනයකට ලක් කිරීම.
 ඉහත කාර්යයන් සිදුකිරීම සඳහා ලක්ෂ 18 ක ට වැඩි රාජ්‍ය සේවයේ නියුතු  වූවන්ගේ සහයෝගය ලබාගත හැකිය.
එහිදී ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආරක්ෂක අංශයන්ගේ සහාය  උපරිමයෙන් ලබාගත හැකිය.
 මේ සෑම රාජ්‍ය සේවකයෙකු ම සම්බන්ධ කරගනිමින් කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන පරිශ්‍රයන්, භූමිය වගා කළ හැකි අතර ඒ හා සමානවම ඔවුන් ජීවත් වන නිවෙස් භූමිය හා පරිශ්‍රය වගා කිරීම සඳහා දැනුවත් කළ හැකිය.
 සියලුම පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ඇතුළු ප්‍රාදේශීය මට්ටමේ ඇති සියලුම ආයතන ද මේ සඳහා සක්‍රීයව දායක කරගත හැකිය.
 හතළිස් ලක්ෂයකට අධික පාසල් දරුවන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, දැනුවත් කරමින් පාසල් භූමිය සහ මේ සියලු දෙනාගේම නිවාස සහ ඒ අවට පරිශ්‍රයන් වගා කිරීම සඳහා යොමු කිරීමට දැනුවත් කළ හැකිය, මග පෙන්විය හැකිය.
 මාස තුනක්, හයක් වැනි කාලයක් සඳහා දරුවන්ගේ දෛනික ඉගැන්වීම් වල දී එක් කාල පරිච්ඡේදයක් කෘෂිකර්මය හා ඒ හා සම්බන්ධ විෂයානුබද්ධ කරුණු හා ප්‍රායෝගික දැනුවත් කිරීම සඳහා වේලාවක්  වෙන් කිරීමට කටයුතු කරන ලෙසට යෝජනා කරමි.
 දාහතර දහසකට අධික ග්‍රාම සේවා වසම් සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභා, නගර සභා , මහ නගර සභා ඇතුළු අනෙකුත් සියළුම ආයතනයන් මගින් යොමු කර ඇති නිලධාරීන් ප්‍රමාණය 16-26  අතර සංඛ්‍යාවකට සීමා වේ.
 ඔවුන්  සියලු දෙනා ඒකාබද්ධ කර ගනිමින් එම ග්‍රාම සේවා වසම කෘෂිකාර්මික වශයෙන් සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය හැකිය. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව  මූලිකත්වය ගෙන කටයුතු කළ හැකි ය.
 ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි දේශපාලන පක්ෂ 78 සඳහා මෙහිදී විශාල කාර්යභාරයක් කළ හැකි යැයි කල්පනා කරමි. ඒ සියලු පක්ෂයන්හි පක්ෂ නායකයින්, ක්‍රියාකාරිකයින්, ඡන්ද අපේක්ෂකයින් සියලු දෙනා මැතිවරණ කාලවලදී මේ සෑම නිවසකටම ගොස් තමන්ට මනාපය ලබා ගැනීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදීම සිදුකරයි. මේ මොහොතේ ඔවුන් සියලු දෙනා රටේ ජනතාවගේ කුසගින්න, සාගින්න, මන්දපෝෂණය දුරු කිරීම සඳහා කළ යුතු සත්කාරයක් නම් සියලු ජනතාව සමඟ එක්ව මේ මහා සාර ලංකා වගා සංග්‍රාමය සඳහා එක්වීමයි, නායකත්වය දීමයි, මෙහෙයවීමයි.
 රට තුළ සිටින ලියා පදිංචි සිවිල් සංවිධාන, ලියාපදිංචි නොවන සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලුම ස්වෙච්ඡා සංවිධාන ඒකාබද්ධ කර ගනිමින් මෙම ක්‍රියාවලිය ශක්තිමත් කළ හැකිය.
 කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විවිධ අත්දැකීම් ඇති උගතුන් බුද්ධිමතුන් විද්වතුන් ඒකාබද්ධ කර ගනිමින් සකස් කළ ජාතික මෙහෙයුම් මණ්ඩලයක් ගොඩනැගීම සඳහා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.
 බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ඇතුළු විවිධ ආගම්  හි ආගමික නායකයින්, ශාස්තෘන් ලක්ෂයකට අධික පිරිසක් රට තුළ  සක්‍රීය ව කටයුතු කරමින් සිටී. මේ සියලූම දෙනා  රැකබලා ගනුයේ, ආහාර සම්පාදනය කරනුයේ, එම ආගමික  මධ්‍යස්ථාන නඩත්තු කරමින්, ආරක්ෂා කරමින් , පවත්වාගෙන යනු ලබනියේ ජනතාව විසිනි.
 මේ සියලූ ම ආගමික නායකයින් ග්‍රාම සේවා වසම තුළ සිටින විවිධ සංවිධානයන්හි ප්‍රජා නායකයින් සමග ඒකාබද්ධ වී කටයුතු කළහොත් ආහාර අර්බුදය, කෘෂිකාර්මික අර්බුදය පමණක් නොව අනෙකුත් බොහෝ අර්බුදයන්ට විසඳුම් ලබාදිය හැකි යැයි අප සංවිධානය විශ්වාස කරමු.
 වර්තමානයේ දැකගත හැකි පොදු ලක්ෂණයක් නම් කෘෂිකර්මාන්තයෙහි නියැලෙන ගොවි ජනතාව විවිධ පක්ෂ, විවිධ ආගම්, විවිධ ප්‍රාදේශීය සංවිධාන, මට්ටමින් කැඩී බිඳී විසිරී ගොස් ඇති බවකි. එම තත්ත්වයන් පසෙකලා ඉදිරි මාස තුන හය ඒකාබද්ධව සංවිධානය වුවහොත් අප රට ආර්ථික වශයෙන් හා කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිත කළ හැකියැයි අප සංවිධානය විශ්වාස කරමු. ඒ සඳහා ඔබ සියලු දෙනා සියළු දෙනා එක් අරමුණකට එකතු වී කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.
 
මෙම සාර ලංකා මහා වගා සංග්‍රාමය ඇරඹීම සදහා  අවශ්‍ය බීජ, පැළ, දඩු කඩිනමින් ලබා ගැනීම සඳහා ඒ සම්බන්ධ පර්යේෂණායතන, නිෂ්පාදන ආයතන, අලෙවි ආයතන ජාලය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුය. ඔවුන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සැපයිය යුතුය.
 කෘෂිකර්මාන්තයට සමගාමිව සත්ව පාලනය සදහාද අවශ්‍ය කරන පහසුකම් සැලසීම කල යුතුය. මේ වන විට සත්ව නිෂ්පාදන වල මිල ඉතා ඉහළ ගොස් ඇතිබව වෙළඳපොලේ පෙනෙන්නට තිබේ 
කුකුල් පාලනය සඳහා අවශ්‍ය කරන කුකුල් කෑම ඉතා පහසු මිලකට ලබාදීමත්, දින 45කින් වැඩෙන බොයිලර් පැටවුන් ලබාදීමත් මෙහිදී පෙන්වා දෙමු.
 එමෙන්ම ගොම පොහොර, කුකුල් පොහොර, එළු පොහොර අදාල ගොවිපොලවල් වලින්ම පහසු මිලකට සකස් කොට ගොවියන්ට ලබාදීම සදහා මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කල යුතුය.
 මීට අමතරව, ගම් කුකුල් පැටවුන් 5 දෙනෙකු හෝ ග්‍රාමීය මට්ටමින් අඩු ආදායම් පවුල් සදහා බෙදාදීමට ක්‍රමවේදයක් සකස් කල යුතුය. ගම් කුකුල් බිත්තර පෝෂණයෙන් ඉතා ඉහල බව අප කවුරුත් දන්නා කරුණකි.
 ගව පාලනය දිරිමත් කිරීම පිණිස දියර කිරි නිෂ්පාදකයින් හදුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහන සහ සත්ව පාලනය වෙනුවෙන් අවශ්‍ය කරන තාක්ෂණය කෘෂි නිලධාරීන් මගින් කඩිනමින් ලබා දිය යුතුය. එමෙන්ම නිෂ්පාදනය වන කිරි එකතු කිරීම හා ජනතාව වෙත බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කල යුතුය.
 හයිලන්ඩ් කිරි නිෂ්පාදනයට අමතරව මෑත කාලයේ ආරම්භ කරන ලද පැලවත්ත කිරි ආශ්‍රිත නිෂ්පාදන කෙරෙහි ඉතා ඉහළ අගයක් ශ්‍රී ලාංකිකයන් අතර පවතින බැවින් දේශීය කිරි නිෂ්පාදන වැඩිදියුණු කිරීම, ප්‍රවාහනය විදිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගත යුතුය.
මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මාධ්‍යයන්හි කාර්යභාරයද අතිමහත් යැයි අපි විශ්වාස කරමු. රාජ්‍ය නායකයින් පත් කිරීමටත්, පරාජය කිරීමටත්, ආණ්ඩු පත් කිරීමටත්, පරාජය කිරීමටත්, දේශපාලනඥ ඇති කිරීමටත්, නැති කිරීමටත්, රට තුළ සිදුවන දූෂණ, වංචා ,අක්‍රමිකතා, හෙලිදරව් කිරීමටත්, විවිධ ජනතාවාදී අරගලයන්ට ප්‍රමුඛතාව දී කටයුතු කිරීමටත් ඉදිරිපත් වන රට තුළ ඇති සියලුම මාධ්‍ය ආයතනයන් ගෙන් හා සියළුම සමාජ මාර්ගයන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනුයේ සාරලංකා මහා වගා සංග්‍රාමය ඇරඹීම සඳහා රට වැසියන්, පුරවැසියන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් හා සංවිධාන ඇතුළු සියලු ජනතාව මේ සාරලංකා මහා වගා සංග්‍රාමය ඇරඹීම සඳහා  යොමුකිරීමට, මග පෙන්වීමට, උත්තේජනය සැපයීමට, සංවිධාන ගත කිරීමට, අවශ්‍ය මාධ්‍ය ප්‍රචාරණය උපරිමයෙන් ලබා දීමට කටයුතු කරන ලෙසයි.
ගරු කථානායකතුමනි, සාරලංකා මහා වගා සංග්‍රාමය ආරම්භ කිරීම සඳහා දැනට පවතින ආණ්ඩුවේ හෝ ඉදිරියේදී  පිහිටවනු ලබන අන්තර්වාර ආණ්ඩුවේ  හෝ ගරු ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු මන්ත්‍රීවරුන් සියලුම දෙනා, දේශපාලන පක්ෂ ප්‍රධානීන්, සියලුම රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන්  ඇතුළු මේ හා සම්බන්ද සියලු දෙනා දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.
 ප්‍රසන්න අධිකාරි,පුලස්ති වන්නිආරච්චි,අසේල සම්පත්,ලක්මාල් වතුයාය,රංජිත් වික්‍රමසිංහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments