27.1 C
Sri Lanka
Wednesday, May 14, 2025
Homeදේශීය පුවත්සිරසට වාරණයක්

සිරසට වාරණයක්

සිරස “නිව්ස් ෆස්ට්“අයත් MTV පුද්ගලික සමාගම හරහා ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගමට, එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (23) වාරණ නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය නිකුත් කළේ, සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පුද්ගලික සමාගම විසින් ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගමට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 2ක වන්දි ඉල්ලා ගොනුකළ නඩුවක් අද සලකා බැලීමෙන් අනතුරුවය.

ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පුද්ගලික සමාගමට එරෙහිව එම නඩුව ගොනු කළේය.

සිරස “නිව්ස් ෆස්ට්“ සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන පරිදි පුවත් පළ කිරීම වළක්වාලමින් MTV පුද්ගලික සමාගමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිරස “නිව්ස් ෆස්ට්“ ඔස්සේ නොවැම්බර් 11, 13, 16 සහ 19 වන දිනවල ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් සමාගම විසින් කොවිඩ් – 19 ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ සහ සිතාමතා ගොතන ලද කරුණු ඇතුළත් අපහාසාත්මක පුවත් පළකළ බව පැමිණිලිකරු විසින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

මෙමගින් සිදුවු අපහාසයට වන්දි වශයෙන් පැමිණිලිකාර පාර්ශවය විසින් රුපියල් බිලියන 2ක් වගඋත්තරකාර පාර්ශවයෙන් ඉල්ලා තිබේ.

ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් සමාගම පෙන්වා දී ඇත්තේ, වගඋත්තරකරුවන් සැමවිටම පැමිණිලිකරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ද්වේෂසහගතව කටයුතු කර ඇති බවය.

දිලිත් ජයවීර මහතා සභාපතීත්වය දරන දෙරණ මාධ්‍ය ජාලය හා ආර් රාජමහේන්ද්‍රන් මහතා සභාපතීත්වය දරණ  සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පුද්ගලික සමාගම අතර දිගු කලක සිට පවතින මාධ්‍ය තරගකාරීත්වය මෙම ද්වේෂසහගත තත්ත්වයට හේතුව බව පැමිණිලිකරු පෙන්වා දුන්නේය.
 
පැමිණිලිකාර පාර්ශවයේ කරුණු සළකා බැලු කොළඹ දිසා අධිකරණය MTV පුද්ගලික සමාගම සහ එහි අනුබද්ධ ආයතන සහ සේවකයින් විසින් ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගම, එහි සභාපති සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසයක් වන ආකාරයෙන් පුවත් පළ කිරීම වළක්වාලමින් වාර්ණ නියෝගයක් නිකුත් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments