23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPලංකා සතොසට සහල් ගෙන්වීම නිසා රු. බිලියන 6ක පාඩුවක් සිදුවීම පිළිබඳ වෙනම...

ලංකා සතොසට සහල් ගෙන්වීම නිසා රු. බිලියන 6ක පාඩුවක් සිදුවීම පිළිබඳ වෙනම සාකච්ඡා කිරීමට තීරණයක්

ලංකා සතොසට ගැළ‍පෙන ව්‍යාපාර ආකෘතියක් සකස් කර ලාභ ලබන තත්ත්වයට පත්කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුවේදී අවධාරණය කෙරේ

2028 දක්වා සංයුක්ත සැලැස්මක් සකස් කර මාස 2 ක් තුළ එහි කටයුතු අවසන් කරන ලෙසට නියෝග
• විගණකාධිපතිවරයාට ආයතනයේ තොරතුරු ලබා ගැනීමට ඇති අපහසුව පිළිබද අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් අභ්‍යන්තර විගණන අංශය දැනුම්වත් කිරීමට උපදෙස්
• සහල් ගෙන්වීම නිසා රු. බිලියන 6ක පාඩුවක් සිදුවීම පිළිබදව වෙනම සාකච්ඡා කිරීමට තීරණයක්
• සේවක පුරප්පාඩු පිරවීමට පෙර ඊට අදාළව නැවත ඇගයීමක් සිදු කිරීමට උපදෙස්
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් (22) රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) ලංකා සතොස ලිමිටඩ් සමාගම කැඳවා තිබිණි.

මෙහිදී ආයතනයේ 2019 සහ 2020 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනයට අදාළ පහත සදහන් මූලික කරුණු පිළිබදව විමර්ශනය කිරීම සිදු විය.

2028 දක්වා සංයුක්ත සැලැස්මක් සකස් කිරීමට උපදෙස්
2021-24 ට සංයුක්ත සැලැස්මක් තිබුණද ඊට අමාත්‍යාංශයේ අනුමතිය ලබා ගෙන නොතිබීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. මේ අනුව 2028 දක්වා සංයුක්ත සැලැස්මක් සකස් කර මාස 2 ක් තුළ එහි කටයුතු පිළිබද කරුණු වාර්තා කරන ලෙස කමිටු සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. එසේම ඊට සමගාමීව ක්‍රියාකාරී සැලැස්මක් ද සකස් කරන ලෙස උප‍දෙස් දුන්නේය.

අභ්‍යන්තර විගණන විමසුම් නිසි පරිදි සිදු නොවීම පිළිබද අවධානය
අභ්‍යන්තර විගණක කාර්ය මණ්ඩලය 21 ක පිරිසක් සිටියද විගණන විමසුම් 2021 වසර සදහා 3ක් පමණක් ඉදිරිපත් කර තිබීමත් 2022 වසර සදහා කිසිවක් ඉදිරිපත් කර නොතිබීමත් පිළිබද මෙහිදී සාකච්ඡා විය. එසේම විගණනකාධිපතිවරයාට ආයතනයේ ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ඇති අපහසුව පිළිබදව අවධානය යොමු විය. ඒ් අනුව අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් මේ සම්බන්ධව අභ්‍යන්තර විගණන අංශය දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසත් විගණකාධිපතිවරයා දැනුම් දුන්නේය.

සහල් ගෙන්වීම නිසා රු. බිලියන 6ක පාඩුවක් සිදුවීම පිළිබදව වෙනම සාකච්ඡා කිරීමට තීරණයක්

2014-2015 කාලයේ ලංකා සතොස ආයතනය හරහා සහල් ගෙන්වීම නිසා රු. බිලියන 6ක පාඩුවක් සිදුව ඇති බව ද මෙහිදී අනාවරණය විය. සහල් ගෙන්වා එම සහල් කල්ඉකුත්වීම නිසා සත්ව ආහාරවලට විකිණීම සිදුව ඇති බවද මෙහිදී සාකච්ඡා විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර විගණකාධිපතිවරයා විසින් වාර්තාවක් පිළියෙල කර ඇති බවත් මේ අනුව ඉදරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් කමිටුවේදී තීරණය විය.

ලංකා සතොස ආයතනයේ 2022 වසරේ පාඩුව මිලියන 600 කට ආසන්න බවත් සභාපතිවරයා මෙහිදී පැවසීය. එසේම 2021 දෙසැම්බර් 31 වන විට විට සමස්ත පාඩුව බිලියන15 කට ආසන්න බවත් මෙහිදී සාකච්ඡා විය.

සතොසට ගැළෙපන ව්‍යාපාර ආකෘතියක් සකස් කරගැනීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

ලංකා සතොස ආයතනය ආනයනය කොට භාණ්ඩ විකිණීම වෙනුවට පිටකොටුව ප්‍රදේශයෙන් භාණ්ඩ මිලදී ගෙන භාණ්ඩ විකිණීම මගින් පාරිභෝගිකයාට අඩුමිලට භාණ්ඩ විකිණීමට මෙන්ම ආයතනයට වැඩි ලාභයක් ලබා ගැනීමට ඇති හැකියාව මගහැරී ඇති බව කමිටුවේදී සාකච්ඡා විය.

තවද රජය විසින් ගනු ලබන ප්‍රතිපත්ති තීරණ මත භාණ්ඩ ආනයනය කළද ඒවාට මුදල් ලැබීමේ ප්‍රමාදය නිසා සිදුවන අලාභය පිළිබදව ද මෙහිදී නිලධාරීහු කරුණු පැහැදිළි කළහ.

සතොසට ගැළෙපන ව්‍යාපාර ආකෘතියක් සකස් කරගැනීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා මෙහිදී අවධාරණය කරන ලදී. අභ්‍යන්තර පාලන දුර්වලතා මෙන්ම බාහිර මැදිහත්වීම්වලින් තොරව ස්වාධීනව තීරණගත හැකි ව්‍යාපාර මොඩලයක් යටතට මෙම ආයතනය පත්කිරීමේ අවශ්‍යතාව මෙහිදී විගණකාධිපතිවරයාද පෙන්වා දුන්නේය.

එසේම වැඩිවශයෙන් පාරිභෝගිකයන් ලංකා සතොස වෙළදසැල්වලට ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාව ද කමිටුවේදී අවධාරණය කෙරිණි.

සේවක පුරප්පාඩු පිරවීමට පෙර ඊට අදාළව නැවත ඇගයීමක් සිදු කිරීමට උපදෙස්

එසේම ආයතනයේ සේවක පුරප්පාඩු 1123 ක් පවතින බවත් මෙහිදී අනාවරණය වූ අතර එම සේවක පුරප්පාඩු පිරවීමට පෙර ඊට අදාළව නැවත ඇගයීමක් සිදු කිරීමේ අවශ්‍යතාව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම ලංකා සතොස ආයතනය අගෝස්තු මස 22 වැනිදා නැවත කැඳවීමටත් මෙහිදී තීරණය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අළුත්ගමගේ, දයාසිරි ජයසේකර, නිමල් ලාන්සා, ජයන්ත සමරවීර, එස්. එම් . එම් මුෂාරෆ් , එස්.එම් මරික්කාර්, සංජීව එදිරිමාන්න, ෂානක්කියන් රාසමානික්කම්, මධුර විතානගේ සහ (මහාචාර්ය) චරිත හේරත් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments