

ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, දඹදිව සාංචි චේතියගිරි විහාරය,බානගල උපතිස්ස පිරිවෙන,සපුගස්කන්ද අබේසේකරාරාමය සහ මාලිගා කන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරය යන සිව් මහා විහාරයන් හි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ හැත්තෑ හයවන ජන්ම දින සමරුව අදට (05) යෙදී ඇත.
1950 ජනවාරි පස්වන දින දකුණේ මොරවක් කෝරළේ බානගල නම් සුන්දර ගම්මානයේ ජාසින් ලියනගේ දොන් හෙන්ද්‍රික් ජයසේන සහ අම්පාගොඩ ලියනගේ ප්‍රේමවතී මාපියන්ගේ නව දෙනෙකු ගෙන් යුත් පවුලේ හත්වැනි දරුවා ලෙස උපන් මෙම කුමරාට ජේ.එල් උපතිස්ස ලෙස නම් තබනු ලැබූයේ හෙන්ද්‍රික් ජයසේන මහතාගේ වැඩිමල් සොයුරු බානගල සීලරත්න හිමියෝය.
මූලික අධ්‍යාපනයෙන් පසු මැටිවල සංඝරත්න හිමියන් සමග අවුරුදු දොලහෙ දී දඹදිවට ගිය, උපතිස්ස දරුවා අවුරුදු දාහතේ දී හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමි වෙතින් බානගල උපතිස්ස ලෙසින් පැවිදි දිවියට ඇතුළත් විය.
සාංචි ,විදසා පාසල්වල සහ බෝපාල් විශ්ව විද්‍යාල හි අධ්‍යාපනය ලැබූ බානගල උපතිස්ස හිමියෝ පසුව ජපානයේ දී පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපනය හෙවත් පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ඉහළම අධ්‍යාපනය ලැබූහ.
මෙරටට ජපන් සම්ප්‍රදායේ පෙර පාසල් අධ්‍යාපනය හඳුන්වාදීමේ සහ පෙර පාසල් පිළිබඳ ජාතික ප්‍රඥප්තියක් සැකසීමේ පුරෝගාමියා වන්නේ ද බානගල උපතිස්ස නා හිමියෝය.
ජපානයේ ථෙරවාදී බුදු දහම ස්ථාපිත කිරීමේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ මහා ප්‍රාර්ථනාව ඉටු කරමින් ජපානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරය සවරා ලංකා ජී විහාරය (1984) ඉදිකරමින් ජපානයේ, ලංකාවේ සහ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සැදැහැවත් වන්දනාවට ලක් වූ බානගල නා හිමියෝ ය.උන් වහන්සේ ඉටු කළ මේ මහා ආගමික විප්ලවීය කාර්යභාරය අගය කරමින් කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී මහා ධර්ම සංඝ සභාව (1984) අවුරුදු තිස් හතරක් තරම් ලාබාල උන්වහන්සේට ජපානය ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම මෙරට ශාසන ඉතිහාසයේ ඓතිහාසික සංසිද්ධියකි.
දහසය වන බෙනඩික් ශුද්ධෝත්තම පාප් වහන්සේ ද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ද ගෞරවනීය හිතවතෙකු වූ බානගල නා හිමියෝ 14 වන ශුද්ධෝතම දලයිලාමාතුමා ද
ඉංදියාවේ ස්වාමි දයානන්ද සරස්වතී,ශ්‍රී ශ්‍රී රවි ශන්කර්, ස්වාමි අවාද්හෙස්හානන්ද ගිරි මහරාජ්, කාංචිපුරම් හි ශුද්ධෝත්තම ශංකරාචාර්යතුමා, ජපානයේ නරිතතසං ශිංශෝජි මහා විහාරාධිපති ශෝසෙකි ත්සුරුමි මහා නා හිමි,අතිපූජ්‍ය නිචිඩාට්සු ෆූජී නා හිමි, අතිපූජ්‍ය ශෝජින් හෂිමොටෝ නා හිමි, ශෝකන්ජි මහා විහාරාධිපති මෙයිටොකු හොරීයි නා හිමි, කියෝතෝ හි හොන්ගන්ජි විහාරාධිපති අතිපූජ්‍ය ඔටානී චෝජුන් නා හිමි, චීනයේ අතිපූජ්‍ය ෂී බෙන් හුවාන් නා හිමි,බ්‍රහ්ම කුමාරී ආශ්‍රමයේ නිර්මාතෘ ප්‍රකාශ්මානී මෑණියන්,දකුණු අප්‍රිකාවේ මහා සාම වීරයෙක් ලෙස සැලකෙන මයිකල් ලැප්ස්ලි පියතුමා, මියන්මාරයේ අතිපූජ්‍ය සිතාගු සයර්ඩාව් නා හිමි ,ලෝක බෞද්ධ සම්මේලනයේ මහ ලේකම් ලොබ් සන්ග් ලාමාතුමා,ඉන්දියාවේ ඔතඩොක්ස් පල්ලියේ උත්තරීතර නායක අති උතුම් බැසෙලිඔස්මාර් තෝමා තුමා වැනි ලෝක සම්භාවනාවට පාත්‍ර වූ ආගමික නායකයෝ බානගල නා හිමියන් සමඟ විවිධ ආගමික, සංස්කෘතික අභිවර්ධන කටයුතු වෙනුවෙන් සාමූහිකව කටයුතු කළ අය වෙති.
සෞදි අරාබියට වැඩම කළ ප්‍රථම බෞද්ධ භික්ෂුව වන්නේ ද ඉරානයේ ආධ්‍යාත්මික නායක (2008) අල් කුමෙයිනිතුමා හමු වූ බෞද්ධ භික්ෂූන් වහන්සේ වන්නේ ද බානගල උපතිස්ස නා හිමියෝ ය.
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමන්,පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්, භූතාන අග්‍රාමාත්‍ය ජිග්මේ තින්ලේ, අශී සෝනාම් වන්ග්චුක් භූතාන රජ කුමරිය, තායිලන්තයේ මහාචක්රි සිරින්ඩෝර්න් අගරැජින ද
ශීසෙල්ස් රාජ්‍යයේ නිර්මාතෘ සභාපති ජේමිස් ආර් මැන්චම්,පෘතුගාලයේ අග්‍රාමාත්‍ය අන්ටෝනියෝ ලුයිස් සන්ටෝස් ඩා කොස්ටා මැතිතුමා,ජපානයේ අග්‍රාමාත්‍ය
කයිෆු ටොෂියාකි,ජපානයේ මහ අධිරාජයා යන අය ඇතුළුව බොහෝ රාජ්‍ය නායකයන් ද රාජ්‍යතාන්ත්‍රිකයන් ද උන් වහන්සේ සමග සමීපව කටයුතු කළ අය වෙති.
ක්‍රි.ව.1193 දී ඉන්දියාවේ නාලන්දා මහා බෞද්ධ විශ්ව විද්‍යාලය මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් විනාශ කළ පසු ඉන්දියාවේ ආරම්භ කළ ප්‍රථම බෞද්ධ විශ්වවිද්‍යාලය ලෙස සැලකෙන සාංචි විශ්ව විද්‍යාලය බානගල නා හිමියන්ගේ අප්‍රතිහත උත්සාහයේ අමිල ප්‍රතිඵලයකි.
තායිලන්තයේ මහ රජතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් තායිලන්ත සහ ඉන්දීය රජයේ ඉල්ලීම පරිදි ප්‍රථම වරට අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා (2025) තායිලන්තයට වැඩම කරවීමට කටයුතු කළේ ද බානගල නා හිමියෝය.
විවිධ රටවල පැවති ථෙරවාදී, මහායාන බෞද්ධ සමුළු සම්මේලන,හින්දු හා සමයාන්තර ආගමික දර්ශන සමුළු,මුස්ලිම් ආගමික සමුළු යනාදී ජාත්‍යන්තර සමුළු සියයකට ආසන්න සංඛ්‍යාවක විශේෂ දේශකයෙක්, ආරාධිතයෙක් ලෙස බානගල නා හිමියෝ සහභාගි වී ඇත්තාහ.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමය, ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය,යොෂීඩා අධ්‍යාපන,සමාජසේවා පදනම,සාංචි විශ්වවිද්‍යාලීය නිර්මාතෘ සාමාජික,ශ්‍රී ලංකා ආගමික කවුන්සිලයය,අන්තර් ආගමික සමුළුව යනාදී ආයතනවල තනතුරු රැසක කර උර දී කටයුතු කරන බානගල උපතිස්ස නා හිමියන්,වසර විසිපහක් ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ මේ සභාපති ලෙස ඉටුකරන සේවය අති විශිෂ්ටය. අනගාරික ධර්මපාලතුමන්ගේ එකසිය පනස් වන ජන්ම දිනය නිමිත්තෙන් 2014 දී ඉන්දියානු සහ ශ්‍රී ලංකා රජය විසින් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කරනු ලැබූයේ බානගල නා හිමියන්ගේ ගෞරවනීය ඉල්ලීම පෙරදැරිවය. ඉන්දියාවේ (මුදල් නෝට්ටුවක ඇති එකම ආගමික ස්ථානයක ඡායාරූපය) රු.200.00 මුදල් නෝට්ටුවේ ඇති සාංචි චෛත්‍යයේ චිත්‍රය ඇතුළත් වීමේ ගෞරවය ද හිමි විය යුත්තේ බානගල නා හිමියන්ට බව ඉන්දියාවේ බොහෝ දෙනක් මෙම ලියුම්කරුට පෙන්වා දී ඇත.
බානගල නා හිමියන්ට නිදුක් නිරෝගී සුවය සමගින් දිගාසිරි ප්‍රාර්ථනා කරමින්,අද පස්වරුවේ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ විශේෂ අග්‍රශ්‍රාවක පූජෝපාහාර ප්‍රදර්ශනයක් ද සපුගස්කන්ද අබේසේකරාරාමයේ විශේෂ ආශිර්වාද බෝධි පූජාවක් ද,ජපානයේ සවරා ලංකා ජී විහාරයේ ද විශේෂ ආශිර්වාද පූජා පැවැත් වේ.


