23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්බැංකු ණය කපා හැරීම මගින් රාජ්‍ය බැංකු විකුණා දැමීමේ අනතුරක් නිර්මාණය වී...

බැංකු ණය කපා හැරීම මගින් රාජ්‍ය බැංකු විකුණා දැමීමේ අනතුරක් නිර්මාණය වී තිබෙනවා
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

දින 05ක් බැංකුවලට නිවාඩු දී දේශීය ණය කපා හැරීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වී සිටින බව මහ බැංකු අධිපතිවරයා සනාථ කර තිබෙනවා. මේ අර්බුදකාරී තත්වයේදී පවා ආණ්ඩුව වගවීම පැහැර හරිමින් මූල්‍ය වෙළඳපොළ තුළ, මහජනතාව තුළ අවිශ්වාසයක් ඇති කරමින් සිටිනවා. රාජ්‍ය මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ මෙයට අදාළ සැලසුම් තවමත් අවසන් කර නැති බවයි. මෙවැනි සංවේදී කරුණක් සම්බන්ධයෙන් සැලසුම් සකස් කර නැහැයි කියන්නේ බොරුවක්. ඔහුගේ ප්‍රකාශය ඇත්තනම් මෙම දවස් දෙක තුන තුළ හදන සැලැස්මක් ඉතාම ව්‍යසනකාරී වෙනවා. ආණ්ඩුව ගැනීමට නියමිත ක්‍රියාමාර්ග තුළ ව්‍යසනකාරී තත්වයන් ඇතිවීමේ අනතුරක් තිබුණත් තැන්පතු අහිමිවේ යැයි අනවශ්‍ය බියකින් කටයුතු නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නමුත් ආණ්ඩුව මේ මොහොතේ දී මහජනතාවගෙන් එවැනි අනවශ්‍ය බිය ප්‍රතිචාරයක් අපේක්ෂා කරනවාද දන්නෙත් නැහැ. ඔවුන්ට පිළිතුරක් නැති නිසා රට තුළ යම් කළබගෑනියක් නිර්මාණය වීමට ඉඩහැර මූල්‍ය අස්ථාවරත්වයක් ඇතිවීමට ඉඩදෙන්නේ දැයි සැකයක් මතුවෙනවා.

ණය ගෙවා ගන්න නොහැකි මට්ටමට පත්වුණේ ස්වභාවික හේතුවක් නිසා නොවෙයි. අදූරදර්ශී පාලනය, වංචාව, දූෂණය, ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන්ගේ හඬට ඇහුම්කන් නොදීම සහ මහජනතාවට වගනොකියන අත්තනෝමතික පාලනයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ පසුබිම අමතක කර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම කතාකරන්න බැහැ. මීට වගකිව යුතු පුද්ගලයන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ හිඳිිමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා කිරීමත් ගැටලු සහගතයි. ඔවුන් කිසිදු කැපකිරීමක් නොකර මහජනතාව මත බර පැටවීම බලවත් ප්‍රශ්නයක්. අපි පත්කරන නියෝජිතයෝ සුළුතර කණ්ඩායමක් ණයවල ප්‍රතිලාභ භුක්ති විඳිමින් අවසාන වගකීම මහජනතාව මත පටවනවා.
ලංකාව විදේශීය ණය නොගෙවන බව ගිය වසරේ ප්‍රකාශ කළේ ඩොලර් නැති නිසා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වී විදේශ ණය ලබාගැනීමේ පසුබිම සකස් කිරීම පමණක් සිදුකරමින් සිටිනවා. ඒ පසුබිම පාවිච්චි කර, ආර්ථිකය ගොඩනඟන ආකරය ගැන ආණ්ඩුව කිසිවක් කියන්නේ නැහැ. විදේශීය ණය කපාහැරිමට පෙර දේශීය වශයෙන් ගත් ණය කපාහරින ලෙසට ඔවුන් තර්කයක් ගොඩනඟා තිබෙනවා. ආණ්ඩුව දැන් ක්‍රියාකරන්නේ ඒ තර්කය මත. ආණ්ඩුව දේශීය වශයෙන් මහ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මත වැඩිපුරම ණය දී තිබෙන්නේ රාජ්‍ය බැංකු සහ රක්ෂණ සංස්ථාවත් පොදු මහජනතාවත්. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලින් ණය දී තිබෙනවා. දේශීය සමස්ත ණය ප්‍රමාණයෙන් 80%කට වැඩි පංගුව නියෝජනය කරන්නේ මේ තුළින්. පුද්ගලික බැංකුවලින් ණය දී තිබෙන්නේ 20%ක් විතර. මේ නිසා වැඩිපුර ප්‍රමාණයක් මහජනතාවගෙන් කපා ගැනීමත් පුද්ගලික අංශයෙන් කුඩා ප්‍රමාණයක් කපා හැරීම හෝ නොකර සිටීමට ඉඩ තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත්වලින් ලබාගත් ණයවලින් 62%ක් පමණ තිබෙන්නේ මහ බැංකුවෙන් ලබාදුන් ණය. ඒ නිසා රජයටත් මහ බැංකුවටත් එකතු වී සාකච්ඡා මගින් ඒ ණයෙන් යම් ප්‍රමාණයක් කපා හැරිය හැකියි. නමුත් මහජනතාවට වැඩිපුරම බලපාන්නේ භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබාදී තිබෙන ණයවලින්. ටි්‍රලියන 09කට ආසන්න ණය දී තිබෙන්නේ බැඳුම්කරවලින්.

බැඳුම්කරවලින් ලබාදී තිබෙන්නේ දිගුකාලීන ණය. මේ ණයවලින් නාමික අගය කපා හැරීම (Hair cut) බැඳුම්කරවලට නියමකර තිබෙන පොලී අනුපාතයෙන් කොටසක් කපා හැරීම එහෙමත් නැත්නම් බැඳුම්කරයක කල්පිරීමේ දිනය අවුරුදු කිහිපයකින් දීර්ඝ කර ගැනීම වැනි ක්‍රියාමාර්ග ගත හැකිව තිබෙනවා. මේ ආකාර තුනම අනුගමනය කරන්න යනවාද? එසේ නැතිනම් එකක්ද, දෙකක්ද යන්න පැහැදිලි නැහැ. අයි.එම්.එෆ්. වාර්තාවට අනුව පැහැදිලිව දක්වා තිබෙන්නේ එකඟතාවයන් මත ණය කැපීම කළ යුතු බවයි.

බලහත්කාරයෙන් කැපීමට උත්සාහ කළහොත් මූල්‍ය ස්ථාවරත්වයට බලපෑමක් ඇති වෙනවා. නමුත් රාජ්‍ය බැංකු හැර පෞද්ගලික බැංකු එකඟතාවයන්ට පැමිණීමට තිබෙන ඉඩකඩ අඩුයි. මේ නිසයි බලහත්කාරයෙන් කපාහැරීමට සූදානම් වන බවක් පේන්නේ. ණය කපා හැරීමෙන් බැංකුවල මුදල් තැන්පත් කර තිබෙන අයට බලපෑමක් ඇති වෙනවා. ණය කපා හැරීමෙන් බැංකුවල වත්කම් අඩුවෙනවා. එවැනි අවස්ථාවක මහජනතාවට ගෙවන පොලී අනුපාත අඩු කිරීමට ක්‍රියා කළ හැකියි. 2023 පළවෙනි කාර්තුව තුළ ලංකාවේ පෞද්ගලික බැංකු තැන්පත් ලබාගැනීම සහ ණයදීම අතර පොලී අනුපාතිකවල 8% දක්වා පරතරයක් තිබෙනවා. නමුත් දියුණු බැංකු පද්ධතියක මෙහෙම වෙන්න බැහැ. මෙයින් පෙනෙන්නේ ඔවුන් රිසිසේ මූල්‍ය වෙළඳපොළ හසුරවමින් අධික ලාභ ලැබීමේ ක්‍රියාමාර්ගයට නිරත වී සිටින බවයි. මේ තත්වයට වගකිව යුතු පාර්ශ්වය පැත්තකට වී තැන්පත්කරුවන්ටත් මහජනතාවටත් බර පැටවීම සාධාරණ නැහැ.

රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ බැංකුවල සේවය කරන විශාල පිරිසක් කැපවීමෙන් සිටිනවා. බැංකු ක්ෂේත්‍රයේ ඉන්න ඒ අයට ලැබෙන ප්‍රතිලාභත් ඉදිරියේදී කපා හරින්න ඉඩ තිබෙනවා. ඊටත් වඩා ප්‍රශ්නය වී තිබෙන්නේ ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. අරමුදල්වලටයි. ඒවායේ මුදල් වැඩිපුරම ණය දී තිබෙන්නේ ආණ්ඩුවටයි. අද දායකවෙන කෙනාට ප්‍රතිලාභ ලැබෙන්නේ විශ්‍රාම යන අවස්ථාවේදී. ඔවුන්ගේ ගිණුම් ඒ ආකාරයෙන්ම පවතීවි. නමුත් ඊට ලැබෙන පොලිය අඩුකිරීම හා වෙනත් ප්‍රතිලාභ කපා හැරීම් සිදුකළ හැකියි. වර්තමානයේ විශ්‍රාම යන අයට ප්‍රතිලාභ ගෙවන්නේ වර්තමානයේ ලැබෙන දායක මුදල්වලින්. ඒ නිසා වර්තමානයේ විශ්‍රාම ගන්නා අයට ලැබෙන ප්‍රතිලාභ, අනිවාර්යයෙන්ම අනාගතයේදී විශ්‍රාම ලබන අයට බරපතළ ලෙස කපා හැරෙන්නට නියමිතයි. මේ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ඇතිවෙන ප්‍රතිඵල දිගුකාලීනයි. මිනිසුන්ගේ පීඩනය වැඩිවෙනවා. කැපකිරීම් කිරීමට සිදුවෙනවා. ආණ්ඩුව පැත්තෙන් මූල්‍ය ස්ථාවරත්වය ගැනත් නොතකා ගෙනයන මෙම වැඩපිළිවෙළන් මූල්‍ය පද්ධතිය අසමතුළිත වුණොත් බැංකු පද්ධතියට බලපෑම් ඇති වෙනවා.

බැංකුවලින් ණය කපා හැරීම් සිදුකිරීමෙන් මූල්‍ය වෙළඳපොළ සහ බැංකු පද්ධතිය අස්ථාවර වුවහොත් මූල්‍ය අරමුදල කියන්නේ ප්‍රාග්ධනය නැවත සම්පාදනය කිරීමට යා යුතු බවයි. විශේෂයෙන්ම රජයේ බැංකුවල ප්‍රාග්ධනය වැඩිකර ගන්න අස්ථාවර තත්වයකදී මහජනතාවගේ තැන්පතු කොටස් ප්‍රාග්ධනය බවට පත්කිරීමේ හැකියවක් තිබෙනවා. එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් හෙළාගැනීම ආණ්ඩුවේ අරමුණ බැවින් අපට මේ පිළිබඳව සැකයක් තිබෙනවා. මූල්‍ය වෙළඳපොළ මගින් වැඩිපුර ලාභ උපයා ගැනීමට සහ එය තමන්ට රිසි පරිදි අනාගතයේ හසුරුවා ගත හැකි ආකාරයට කටයුතු කිරීමේ පෙරනිමිති තිබෙනවා. නව මහ බැංකු පනතක් ගෙන ඒම, රාජ්‍ය බැංකු අකාර්යක්ෂම බව ප්‍රචාරය කිරීම වගේ තර්ක තුළ රාජ්‍ය බැංකුවල කොටස් පුද්ගලික අංශයට අලෙවි කිරීමේ අනතුරක් තිබෙනවා. ඒවා තමන්ට රිසි පරිදි මූල්‍ය වෙළඳපොළ හැසිරවීමේ හැකියාව තිබෙන අයගේ ග්‍රහණයට හසුකිරීමේ තත්වයක් තිබෙනවා. මම ඊට උදාහරණයක් කියන්නම්. මහජන බැංකුව යටතේ පීපල්ස් ෆිනෑන්ස් කොම්පැනිය තිබෙනවා. මහජන බැංකුව සතු, මෙම ෆිනෑන්ස් සමාගමේ කොටස් 33%ක් රුපියල් කෝටි හාරසිය විස්සකට ජනශක්ති ලිමිටඩ් ආයතනයට විකුණා තිබෙනවා. ජන ශක්ති සමාගමේ කොටසක මූල්‍ය අගය රුපියල් 20ටත් අඩුවෙන් තිබෙන්නේ. එසේ තිබියදී පීපල්ස් ෆිනෑන්ස් කොම්පැනියේ කොටස් මිලදී ගන්නේ රුපියල් 37.10 බැගින්. මෙවැනි ගනුදෙනු ගැනත් මහජනතාව විශේෂ අවධානය යොමු කළ යුතුයි.

ආණ්ඩුව රට ගොඩගන්න වෑයම් කරන බව පෙන්වමින්, ජනතාව තව තවත් පීඩනයට පත්කරන මෙවැනි ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය හැටියට පවතින කරුණු හෙළිකරනවා. තාවකාලික පිළියම් ලෙස පෙනුණත් දීර්ඝ කාලීනව රටේ ආර්ථිකයටත් මහජනතාවටත් එල්ල වෙන පීඩාව විශාලයි.

වසරක් යන්නටත් පෙර පවුල් ලක්ෂ එකොළහමාරක සුභසාධන කපා හැර තිබෙනවා
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකා, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සීතා බණ්ඩාර

මගේ මූලික අවධානය අස්වැසුම යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් යොමු කරනවා. 2022 අවුරුද්දේ 10 වැනි මාසයේ 20 වැනිදා දුප්පත් පවුල් සඳහා ප්‍රතිලාභ ලබාදීමට අයදුම්පත් කැඳෙව්වා. ඒ සඳහා අයදුම්පත් තිස්ලක්ෂ විසිදහසක් ලැබී තිබුණා. දැනටත් සමෘද්ධි ලබන පවුල් දහසය ලක්ෂ පනස්දහසක් පමණ ඉන්නවා. ඊට අමතරව විශේෂ ආධාර ලබන ලක්ෂ හතක් පමණ සිටිනවා. ඒ අනුව සමෘද්ධි යටතේ ප්‍රතිලාභ ලබන පවුල් විසිතුන් ලක්ෂ තිස්දෙදහසක් පමණ ඉන්නවා. මෙසේ තිබියදී අස්වැසුම ප්‍රතිලාභ සඳහා තෝරාගෙන තිබෙන්නේ පවුල් ලක්ෂ විසිතුනක් පමණයි. අඩු ආදායම් ලබන 40%ක් ජනතාව තුළ පවුල් විසිදෙලක්ෂ අසූදහසක් සිටිනවා. එයිනුත් තෝරාගෙන තිබෙන්නේ පවුල් ලක්ෂ 20යි. සමෘද්ධිලාභී පවුල්වලින් පවා ලක්ෂ තුනක් පමණ ඉවත්කර තිබෙන බව පැහැදිලි වෙනවා. සමෘද්ධිලාභින් කාණ්ඩ හතරකට කඩා අස්වැසුමකට තෝරාගෙන තිබෙනවා. සංක්‍රාන්ති පිරිස, අවදානමකට ලක්වූ පිරිස, දුප්පත් පිරිස සහ අන්ත දුගී යනුවෙන් කාණ්ඩ හතරක් තිබෙනවා.

මේ කාණ්ඩ හතර සඳහා නිර්ණායක ලෙස ගෙන තිබෙන්නේ අධ්‍යාපනය, ආර්ථික මට්ටම, විදුලි පරිභෝජනය, වගේ දර්ශක හයක්. අ.පො.ස. (සා.පෙ.) සමත් නම්, ඒ පවුල දුප්පත් නැහැ, යනුවෙන් සහ අ.පො.ස. (සා.පෙ.) අසමත් නම් ඒ පවුල දුප්පත් ලෙස තෝරාගෙන තිබෙනවා. ඒ වගේම වොට් 60කට වඩා අඩුවෙන් පරිභෝජනය කරන අය දුප්පත් සහ ඊට වැඩි අය දුප්පත් නැහැ යනුවෙන් ගෙන තිබෙනවා. තමන්ටම කියලා නිවසක් තිබෙනවා නම්, දුප්පත් නැති බව තාවකාලික හෝ මුඩුක්කු නිවසක සිටිනවා නම් දුප්පත් බවත් ලෙස තිබෙනවා. සී.ඩී. 125 යතුරු පැදියක් තිබෙනවා නම්, ඔවුන් දුප්පත් නැහැ. කුඹුරු අක්කර 1/2ක් තිබෙනවා නම් දුප්පත් නැහැ යනුවෙන් වූ ඉතාම විහිළුකාරී නිර්ණායක කිහිපයක් තෝරාගෙන තිබෙනවා. ආර්ථික අර්බුදය නිසා මිනිසුන් අතිවිශාල පීඩාවක ඉන්නේ. 2019 දී තිබුණු දුප්පත් පුද්ගලයින් ලක්ෂ 30මේ වන විට ලක්ෂ 70 දක්වා වැඩි වී තිබෙන බව සමීක්ෂණයේදී හෙළිවුණා.

මේ අය අතරින් වර්ගීකරණය කර තිබෙන “සංක්‍රාන්ති” යන කාණ්ඩයට අයිති වෙන්නේ කලින් රැකියා කරමින් සිට රැකියා අහිමි වුණු අයයි. ඒ අයට මසකට රුපියල් 2500/-ක් ලැබෙනවා. මේ අය පවුල් ලක්ෂ හතරක් සිටින අතර, ඔවුන්ව මාස හයකට පසු සහනාධාර දීමෙන් ඉවත් කරනවා. අවදානම් යනුවෙන් නම්කර තිබෙන කණ්ඩායමට විවිධ රෝගාබාධ තිබෙන පවුල් ලක්ෂ හතරක් තෝරාගෙන මාස නවයකින් ඔවුන් ඉවත් කරනවා. සමෘද්ධි ලැබෙමින් තිබුණු පවුල් ලක්ෂ තුනහමාරක් මුලින්ම ඉවත් කර, මේ අදියර දෙකේදී තවත් පවුල් ලක්ෂ අටක් ඉවත්කිරීමෙන් වසරක් යන්නටත් පෙර පවුල් ලක්ෂ එකොළහමාරක් ඉවත් කරනවා. දරිද්‍රතාවය උපරිමයට වැඩිවී තිබෙන වෙලාවක සමාජ ආරක්ෂණයක් ලබාදෙන ලෙස මූල්‍ය අරමුදල කීවත් අස්වැසිල්ල රැවටිල්ලක් බව පැහැදිලියි. ජනසවිය, ගමනැගුම, දිවි නැගුම වගේ තවත් ලස්සන නමක් අස්වැසුම කියලා හඳුන්වාදී තිබෙනවා. මේ ක්‍රියාත්මක කරන්නේත් අස්වැසිල්ලක් නොවෙයි රැවටිල්ලක් කියන එක අපිට පැහැදිලියි.

මූල්‍ය ක්ෂේත්‍රයේ ඇතිකර තිබෙන ගැටලුකාරිත්වයේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති

දවස් තුනකට වඩා බැංකු පද්ධතියේ නිවාඩු දීම් නිසා ජාත්‍යන්තර ව්‍යාපාර කරන අයට විශේෂයෙන් ප්‍රශ්න මතුවෙනවා. සාමාන්‍යයෙන් දින තුනකට වඩා බැංකුවලට නිවාඩු නොදීමේ මේ සම්ප්‍රදාය ආණ්ඩුව කැඩුවා. බැංකු නිවාඩුවක් නොවූ 30වැනිදා ගැසට් නිවේදනයකින් බැංකු නිවාඩුවක් කළා. මේ විදිහට බැංකු නිවාඩු දෙන්නේ ඇයි කියලා බැංකු ප්‍රධානීන් දන්නේත් නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ බැංකු ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලත් නැහැ. ආර්ථිකය බංකොලොත් කළ ආණ්ඩුව ඊට උත්තර සොයනවා වෙනුවට, ජනතාව තුළ අවිශ්වාසයක්, සැකයක් නිර්මාණය කර, බැංකු පද්ධතියත් බංකොලොත් කිරීමේ ක්‍රියාවලියක් ගෙන යනවා. බැංකු පවතින්නේ විශ්වාසයත් එක්ක. තැන්පත්කරුවන්, ණය ගන්නා අය, බැංකුත් එක්ක ගනුදෙනු කළ යුතු විශ්වාසය වෙනුවට සැකයක් ඇති කරනවා නම්, ජනතාව ඊට ප්‍රතික්‍රියා දක්වන එක වළක්වන්න බැහැ. මේ දින පහ ඇතුළත පාර්ලිමේන්තුව කඩිමුඩියේ කැඳවා තිබෙනවා. අයවැය විවාදය අතරතුරවත් සාමාන්‍යයෙන් ඉරිදා දවසේ පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නැහැ. ප්‍රංශ සවාරියෙන් පසු ජනාධිපති එන්නේම, පාර්ලිමේන්තුව රැස්කර ණය කපා හැරීමේ ක්‍රියාවලිය අනුමත කරගන්නා බව වාර්තා වෙනවා.

මූල්‍ය ක්ෂේත්‍රයේ ඇතිකර තිබෙන මේ ගැටලුකාරී තත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාර ගන්න ඕනෑ. ණය කපා හැරීමෙන් ඇතිවන තත්වයට වඩා අතුරු ප්‍රතිඵල විශාල ප්‍රමාණයක් මෙයින් ඇති විය හැකියි. ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට සහ මහජනතාවට ඇති කරන සැකය රුපියල ශක්තිමත් කිරීම නැමති ක්‍රියාවලියේදී ආණ්ඩුව සිදුකළා. මේ මුළු ක්‍රියාවලිය විසින්ම බැංකු පද්ධතිය පිළිබඳව සහ තමන්ගේ ස්ථාවර ගිණුම්, ලැබෙන පොලිය සහ වෙනත් තැන්පතු පිළිබඳව මේ වන විටත් අවිශ්වාසයක් ඇති කර තිබෙනවා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කළ ප්‍රකාශයෙන් මේ තත්වය තවත් තීව්‍ර කර තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා කතා කරන්නේ ඒ වගකීම දරාගෙන නොවෙයි. ස්ථාවර තැන්පතුවලට කිසිවක් නොවන බවත්, පොලිය අඩු නොවෙන බවත් ඔහු කියනවා. ඔහු බැංකු නිවාඩු දීලා කරන වැඩේ රටට කියන්නේ නැහැ. මේ සැඟවීම විසින්ම බොහෝ දෙනෙකු තුළ සැකයක් මතු කරනවා. ආණ්ඩුව කරන්නේ බැංකු පද්ධතිය ශක්තිමත් කරන කටයුත්තක් නම්, අර්බුදය විසඳන්න ක්‍රියාමාර්ග තේරීමක් නම් අවංකව කියන්න බැරි ඇයි? ඔවුන් උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ සීල් එක මේ ක්‍රියාවලියට ගහගන්නයි. එයට විපක්ෂයත් හවුල් කර ගන්නා බව හර්ෂ ද සිල්වා ඇතුළු උගුරට හොරා බෙහෙත් කන මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලියි. මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම පිළිබඳ විවාදයේදී ඔවුන් මඟහැර ගියා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments