පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ පසුපසට තල්ලු නොකරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසීය.
විමර්ශන නිසි ලෙස සිදු කිරීමට රජය අපොහොසත් වන්නේ නම් එම වගකීම වෙනත් කණ්ඩායම්වලට පැවරීමට සිදු වන බවත් උන්වහන්සේ සඳහන් කළේය.
කාදිනල් හිමියන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03 වැනිදා) සමගි ජනබලවේගයේ මන්ත්‍රී කවින්ද ජයවර්ධන උන්වහන්සේ බැහැදැකීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
ප්‍රහාරයේ සත්‍ය අසත්‍යතාව රටට හෙළි කරන තෙක් කතෝලික ජනතාව අවධානයෙන් සිටින බවද පැවසූ උන්වහන්සේ මෙසේ ද කීය.
‘‘රජයෙන් ඉල්ලා සිටින්නේ මේ පරීක්ෂණ පිටිපස්සට තල්ලු කරලා දාන්න එපා කියලයි.
එහෙම වුණොත් වෙන්නේ මේ රටේ ඉදිරියට අන්තවාදීන් බිහි වෙලා ප්‍රහාර එල්ල කරලා මේ රටේ සාමය බිඳවැටීමයි. ඒ විදියට කටයුතු කරන්න කිසිම බලවේගවලට ඉඩ නොදෙන විදිහට කටයුතු කිරීම තමයි රජයේ ඉදිරි වගකීම විය යුත්තේ.
ඒ නිසා ආරක්ෂක අංශ නිදාගන්න හොඳ නැහැ. මේ බෝම්බ ප්‍රහාරය පිටුපස තිබුණ බලවේගය හොයාගන්න පුළුවන් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දේශපාලන වාසි ලබාගෙන ඩීල් සංස්කෘතියක් ඇති කරන ඒවට යටත්වෙලා වෙනදා සිදුවුණා වගේ කාපට් එක යට හංගන්න කිසිම උත්සාහයක් දැරිය යුතු නැහැ. එලෙස වගකිවයුතු රජයකින් අපි බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.
ජනාධිපති ඇතුළු රජය ස්ථීර පොරොන්දුවක් දුන්නා මේ පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් කරලා අදාළ කොමිෂන් සභාවෙන් පමණක් නෙමෙයි විශේෂ රජයේ ආයතනවලින් කරුණු සොයා බලනවා කියලා.
මේක කරන්නේ නැත්නම් අපිට වෙන විකල්ප හොයන්න වෙනව. වෙන කණ්ඩායම්වලට වගකීම පවරන්න සිදු වෙනවා. රජය කෙරෙහි අපේ විශ්වාසය බිඳෙනවා එහෙම වුණොත් අපි බලාපොරොත්තු වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරි මෙය හරියට කරයි කියලා.
මේකෙ කොටසක් තමයි ෂරියා විශ්වවිද්‍යාලය. මේ ෂරියා නීතිය කියන එක මුස්ලිම් අයට වැදගත් වෙන්න පුළුවන්. නමුත් ෂරියා නීතිය රටේ නීතිය විදිහට ඉදිරිපත් කරලා අපේ ජනකොටසකට බලපෑම් කරන එක වැරදියි.