29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedසමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදෙයි.

සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ආදේශක ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් බාරදීම (15) සිදු කෙරිණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක පැවති උත්සවයකදී ගුවන් යානය බාර දුන්නේය.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වාර්ෂික නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාවට පිටත් කර හැරීම නිසා ඒ වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය මෙලෙස ලංකාවට බාර දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසර දෙකක කාලයක් සඳහා 2022 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බාර දී තිබිණි.

එම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසරක කාලයක් සක්‍රීය සේවයේ යෙදෙමින් සුවිශේෂී සේවාවක් ඉටු කරනු ලැබූ අතර එම ගුවන් යානයේ වාර්ෂික අනිවාර්ය නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාව වෙත යැවීමට කටයුතු කෙරිණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැසූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ඉන්දීය නිල සංචාරය සමඟ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බවත් ඉදිරියේ දී දෙරට වඩා පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්ය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහත්වරු ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය:- ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකාවට ලබාදුන් අවස්ථාව.ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments