22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්රුමේනියා රැකියා පෙන්වා කෝටි 7ට අධික මුදලක් වංචාකළ කත කොටුවෙයි.

රුමේනියා රැකියා පෙන්වා කෝටි 7ට අධික මුදලක් වංචාකළ කත කොටුවෙයි.

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 7ට අධික මුදලක් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගෙන විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති තැනැත්තියක වන අතර, රුමේනියාවේ ක්ෂේත්‍ර කිහිපයක රැකියා ලබාදීම සඳහා අනුමැතිය ලබා ඇතත් එම ක්ෂෙත්‍රවලට අමතරව රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා වංචනිකව මුදල් අයකර ඇත.

අදාල රැකියා ලබාගැනීම සඳහා මෙම කාන්තාවට මුදල් ලබාදුන් පුද්ගලයින් 88 දෙනෙකු කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතර, සැකකාරිය රුපියල් කෝටි 7ට අධික මුදලක් වංචාකර ඇති බව එහිදී හෙලි විය. ඒ අනුව මැය අත්අඩංගුවට ගැනීමට කාර්යාංශය විසින් විමර්ශනයක් මෙහෙයවා ඇතත් අදාල තැනැත්තිය විමර්ශන නිළධාරීන් සැගවී සිටීමට උත්සහ දරා ඇති අතර, මෙම සැකකාරිය මාලිගාවත්ත, ලක්හිරු සෙවන නිවාස සංකීර්ණයේ සැගවී සිටින බවට ලද තොරතුරක් අනුව, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (4/1) එම ස්ථානයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම ජාවාරම සඳහා ඇයට සහාය වූ අදාල රැකියා නියෝජිතායතනයේ කළමනාකරු හා තවත් අයෙකු අත්අඩංගුවට සඳහා කාර්යාංශය විමර්ශන මෙහෙයවමින් සිටී.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න හා විමර්ශන නිළධාරීන් වන ඉදුනිල් පුෂ්පකුමාර, රවීන්ද්‍ර අබේපාල, මහීෂ කොඩිප්පිලිආරච්චි, අමිල පෙරේරා හා ගයේෂා සුභාෂිණි යන නිළධාරීන් එක්විය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments