29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර එහි අනිටු ඵල වලක්වන ආරක්ෂණ නීති සම්පාදනය...

කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර එහි අනිටු ඵල වලක්වන ආරක්ෂණ නීති සම්පාදනය කළ යුතුයි.-අධ්‍යපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

මාර්ග ආරක්ෂණ පාසල් වැඩසටහනේ අරමුණ මාර්ග අනතුරු සිදු වීමට පෙර වලක්වාගැනීමයි.

ලොව දියුණු රටවල කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර එමගින් උද්ගත විය හැකි අයහපත් ප්‍රතිඵල වලක්වාගැනීමේ පූර්ව සූදානමක් ලෙස අදාළ නීති රීති සම්පාදනය කරන බවත් අප ද ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාසල් දරුවන් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීම හරහා මාර්ග අනතුරු සිදු වන්නට පෙර වලක්වා ගැනීමේ අපේක්ෂාවෙන් පළ කර ඇති මාර්ග ආරක්ෂණ පදක්කම් වැඩසටහනට අදාළ ශිෂ්‍ය අත්පොත් හා ගුරු මාර්ගෝපදේශ අත්පොත් මෙන් ම උපදෙස් සංග්‍රහය එළි දැක්වීමේ වැඩසටහනකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය.

දිනකට පාසල් දරුවන් 196,000ක් නගරගත වන අධික ජනඝනත්වයක් සහිත කොළඹ නගරය ආශ්‍රිත ව දිවයිනේ වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂ ව පාසල් දරුවන් මාර්ග අනතුරුවලට මුහුණපෑමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගන්නා බව මෙහි දී සඳහන් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම ඛේදජනක තත්වය වෙනස් කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු ව ඇති බවත් ඒ සඳහා මෙවැනි මාර්ග ආරක්ෂණ වැඩසටහන් මහඟු‍ පිටුබලයක් වන බවත් පැවසී ය. ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂණ සභාව හා ඒකාබද්ධ ව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක සහයෝගය මත සිසු දැනුම්වත්කරණය ඇතුළු මෙම මාර්ග ආරක්ෂණ වැඩසටහන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී හා මාර්ගෝපදේශන ශාඛාව හරහා ක්‍රියාවට නංවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය. වර්තමානයේ පාසල්වල විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලට පවත්නා උද්‍යෝගය අඩු වී යාමේ ප්‍රවණතාවක් පවතින පසුබිමක එම තත්වය මගහරවා ගැනීමට උත්සුක වෙමින් විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස මෙම වැඩසටහන් දියත් කර මාර්ග අනතුරු සිදු වීමට පෙර ඒවා වලක්වා ගැනීමට ක්‍රියාත්මක වීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණ වන බව ද කී අමාත්‍යවරයා දිවයිනේ සමස්ත පාසල් පද්ධතියෙන් පාසල් 7,000කට අධික ප්‍රමාණයක මෙම පාසල් මාර්ග ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාවට නංවන බව ද පැවසී ය. එහි දී පාසල තුළ හා පාසලෙන් පිටත මෙන් ම පාසල ඉදිරිපස දී ද පොලිස් නිලධාරීන් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වෙමින් ම මෙම අනතුරු වලක්වා ගැනීමේ පූර්ව ක්‍රමවේද ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් මෙන් ම පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සහ අධ්‍යාපන ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූපසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments