ඔබතුමා ඉතා හොඳින්ම දන්නා පරිදි මේ වන විට පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක වන අතර රජය ඒ සඳහා මුදල් නිකුත් නොකිරීම නිසා පළාත් පාලන මැතිවරණය අවිනිශ්චිතභාවයකට පත්වී ඇත. එහෙත් නීතියට අනුව මැතිවරණය මේ මොහොතේද ක්‍රියාත්මකය.
එමෙන්ම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත්වීමටද නියමිතය. එවැනි තත්ත්වයක් තුළ රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයින් පත්කිරීමට බලය පැවරෙන PS/SB/Circular/5/2024 දරණ චක්‍රලේඛය ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් 2024 අප්‍රේල් 29 දාතමින් යුක්තව නිකුත් කරන ලදී.
රජයේ සංවර්ධන ව්‍යාපෘති වලට අපගේ විරෝධතාවයක් නොමැති අතර ඒ හරහා දේශපාලන පක්ෂයක් හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වීම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකසන ලෙසට ඉල්ලමින් පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර ඇත.
එහෙත් මේ වන විට එකී අධිකරණ ක්‍රියාවලිය මගහැර යමින් සහ ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බලතල අනුව නිකුත් කර ඇති චක්‍රලේඛ නොසලකා හරිමින් මෙන්ම සදාචාර විරෝධීව අයුරින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සම්බන්ධීකරණ පත්වීම් ලබාදීමට කටයුතු කරන ලදී. ඒ අනුව යමින් මධ්‍යම හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් විසින්ද මේ ආකාරයට පත්වීම් ලබාදෙමින් සිටියි. ඒ අනුව පහත කරුණු ඔබතුමාගේ අවධානය පිණිස යොමුකරමු.
1. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පත්වීම් ලබාදී ඇත්තේ පෙරදාතම (මාස 1 1/2 පමණ) යොදමින් බව.
2. ආණ්ඩුකාරවරයා පත්වීම් ලබාදෙන්නේ පළාත් පාලන අපේක්ෂකයන්ට වන අතර එම පත්වීම තමන් තරඟ කරනු ලබන පළත් පාලන ආයතනය සඳහාම ලබාදී ඇති බව.
3. එම පත්වීම්ලාභී අපේක්ෂකයන් නොඑසේනම් හිටපු සභාපතිවරු හා හිටපු සභිකයන් පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් අමතා කාර්යාල පහසුකම් ඉල්ලා ඇති බව සහ දැනටමත් භාවිත කරන බව. උදාහරණ ලෙස කොත්මලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා හිටපු මන්ත්‍රී කණ්ඩායමක් සමග ප්‍රාදේශීය සභාවට පැමිණ වසර එකහාමාරකට පසුව නැවත ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස වැඩබාරගත් බව සහ නව ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීම සඳහා එකතුවූ බවට සමාජ මාධ්‍යයේ පලකර ඇත.
4. එම පත්වීම්ලාභීන් පළාත් පාලන ආයතන වෙනුවෙන් සංවර්ධන කටයුතු වලට මැදිහත් වන බව.
පළාත් පාලන හා පළාත් සභා විෂය භාර අමාත්‍යවරයා ලෙසත් අග්‍රාමාත්‍යවරයා ලෙසත් අනීතිකව සිදුකරනු ලබන මෙම දේශපාලන මැදිහත්වීම් නතර කිරීමට කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. එමෙන්ම රාජ්‍ය දේපළ/පළාත් පාලන ආයතන සතු දේපළ කිසිදු නීතිමය බලයක් නොමැතිව භාවිත කිරීමට ඉඩ ලබානොදෙන ලෙස පළාත් පාලන කොමසාරිස්වරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙසත් එමෙන්ම දැනටමත් දේපළ අවභාවිත කිරීමට ඉඩ ලබාදී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් පෙනීසිටි කෘතහස්ත දේශපාලනඥයෙකු ලෙස මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා අවශ්‍ය දේශපාලන මැදිහත්වීම සිදුකරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.