21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්ශ්‍රී ලාංකේය ගීත කලාව සංගීතයෙන් පෝෂණය කිරීම සඳහා සුවිශේෂි නාද රටා භාවිතා...

ශ්‍රී ලාංකේය ගීත කලාව සංගීතයෙන් පෝෂණය කිරීම සඳහා සුවිශේෂි නාද රටා භාවිතා කරමින් විශේෂයෙන් හවායි ගිටාරය, යූඩ්ලිං,චිප්මන්ක් සංකල්ප හඳුන්වාදුන් නව්‍යකරණවාදියා- පැට්‍රික් දෙනිපිටිය

ශ්‍රී ලාංකේය සංගීත අඹරේ නව්‍යකරණවාදියා ලෙස විරුධාවලියලත් මොහු එදා වේදිකාව, සිනමාපටය ඇතුළු සෑම පටිගත කිරීමක් තුලම වාද්‍ය වෘන්දයක් අතර සිය දායකත්වය ලබාදුන්නේය. පැට්‍රික් දෙනිපිටිය නම් ඒ මහා කලා ශිල්පියාගේ අනූවෙනි ජන්ම දිනය ලබන අගොස්තු මස (11)ට යෙදි තිබෙන අතර ඒ වෙනුවෙන් TOP NEWS ASIA news website ගෙන එන උපහාර ලිපියකිමේ. මෙතුමාගේ දිවිය වසර 1934 සිට 2013 දක්වා දිවෙයි.

ඒ මහතාගේ අනූවෙනි ජන්මදින සැමරුම වෙනුවෙන් ‘සිහින ලොවින් මිහිර මැවු පැට්‍රික් දෙනිපිටිය‘ යනුවෙන් සංගීත ප්‍රසංගයක් ඒ මහතාගේ ජන්ම දිනය යෙදෙන අගෝ. (11) දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර මෙය එදින සවස 7.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

කොපමණ සංගීත වැඩසටහන් ඉදිරිපත් කළත් තමාගේ නමින් සංගීත ප්‍රසංගයක් සිදුකර නොමැති අපේ කතානායකයාගේ ජන්මදිනය වෙනුවෙන් මෙම උපහාර සංගීත ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි කථනය කැලුම් ශ්‍රීමාල් සිදුකරන අතර සංගීතය මහෙෂ් දෙනිපිටිය ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සිදුකරයි.

පනහේ දශකයේ සංගීත ලොවට පිවිසෙන පැට්‍රික් දෙනිපිටියන් සුනිල් ශාන්තයන්ගේ ගෝලයෙකි. රටේ තිබෙන සංගීත නාද රටා ගැන ගීත ගැන අවධානය යොමුකළ අපේ මේ මහා කලා ශිල්පියා මෙරට සංගීතය නව්‍ය කරණය කරමින් විවිද විද්‍යුත් නාද රටා හා සංකල්ප එක් කිරීමට කටයුතු කර තිබේ. ඒ නිසාම එදා ඔහුව නව්‍යකරණවාදියා ලෙස හැඳින්වූයේය. සුනිල් ශාන්ත අපේ සංගීතය ඉන්දියානු රටාවෙන් මුදවන්න උත්සහ කරන සමයේ පැට්‍රික් දෙනිපිටියන් සිංහල ගීතවලට ජාත්‍යාන්තරයේ භාවිතාවන සංගීත රටා මුසු කරමින් මෙරට සංගීතය වෙනස්ම මානයකට ගෙන යෑමට පර්යේෂණාත්මකව කටයුතු කරමින සිටියේය. මේවා රසික ජනතාව හොඳින් වැළඳගෙන ගත්තේය. සිංහල ගීතයට හාමෙනි ගායනය, යූඩ්ලිං සංකල්පය,චිප්මන්ක් සංකල්ප දෙනිපිටියන් හඳුන්වාදුන් ඒවාය.

කා සමගත් ඉතා හොඳ සහයෝගයෙන් කටයුතු කිරීමේ පුරුද්ද හා සංගීත භාණ්ඩ රැසක් වාදනය කිරීමේ හැකියාව හා වේගයෙන් පෙර අපරදිග ස්වර ප්‍රස්ථාර ලිවීමේ හැකියාව නිසා සෑම සංගීත අධ්‍යක්ෂවරයෙක්ම දෙනිපිටියන්ගේ සහයෝගය තම නිර්මාණවලට ලබාගත්හ. ඒ නිසාම සෑම වාදක මණ්ඬලයකම සෑම ගීතයක් පටිගත කිරීමේදි , නව සංගීත රටා එක්කර ගැනීමට ඒ ඒ අයගේ ගීතවලට විවිධ නිර්මාණාත්මක සංගීත නාදයන් මුසු කරගැනීමට පැට්‍රික් දෙනිපිටියන් යොදාගත්හ. බි.ඇස්.පෙරේරාගෙන් පසු සී.ටි. ප්‍රනාන්දුගේ ගීතවල පරණ ගීත වගේම නව ගීත බොහෝ ප්‍රමාණයක් ම වගේ සංගීතය අධ්‍යක්ෂණය කර ඇත්තේ පැට්‍රික් දෙනිපිටියන්ය.

රෝහිත ජයසිංහ, කාන්ති වක්වැල්ල, අයිවෝ ඩෙනිස්, පැට්‍රික් දෙනිපිටිය සමකාලීනව අය සමග සුනිල් ශාන්තයන්ගේ සංගීත මැදුරේ අධ්‍යාපනය සිදුකළ අය අතර විවියන්ද සිල්වා බොරලැස්ස එම ස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨ අයෙකි. සුනිල් ශාන්තයන් එයාට සමාන කට හඬක් ගුවන් විදුලියෙන් ශ්‍රවණය කිරීමෙන් පසු එම හඬ හිමි පුද්ගලයා සොයනවිට ඒ අය තමා හඳුනනවා කියා එතුමා ළඟට අයිවෝ ඩෙනිස්ව කැඳවාගෙන ගොස් තිබෙන්නේ දෙනිපිටියන්ය. දෙනිපිටියගේ සහෝදරයකුවු බර්ට්‍රම් දෙනිපිටියද සංගීතය පැත්තට නැඹුරුම සිටි අයෙකි. ගුවන්විදුලි සංස්ථාවේ සරල ගීත තිහක් පමණ ගායනා කළ කෙනෙකි. කඳුකරයේ කිරිඇල්ලේ,බිව්වා නේද වදකහ සුදිය ගී ලියා ඇත්තේද බර්ට්‍රම් දෙනිපිටියයි. සංගීතය නිර්මාණ කර ඇත්තේ දෙනිපිටියන්ය.

පැට්‍රික් දෙනිපිටියන්ගේ මුල්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණ වන්නේ ‘සැඟවුණු මැණිකය‘ එමෙන්ම චිත්‍රපට සංගීතයේ යම් කඩඉමක් වනුයේ ‘සැණකෙළිය‘ චිත්‍රපටයවේ. මේ විටත් සංගීතඥයෙක් ලෙස පැට්‍රික් දෙනිපිටියන් නමක් දිනා තිබිණි. එතුමාගේ සංගීත කණ්ඩායමද පෙරමුණේ තිබුණු බව කියැවේ.

රෝහිත ජයසිංහ මෙහෙයවු ලොතරැයි මණ්ඬලයේ වැඩසටහනකටත් ,ටුබැකෝ එකේ වැඩසටහනට දිගටම සංගීතය සපයා ඇත්තේ දෙනිපිටියන්ය. මෙය එදා ගායක ගායිකාවන් විශාල සංඛ්‍යාවක් ගී ගයන දැවැන් ප්‍රසංගයකී.

ඩ්‍රම්ස්, බේස්, විද්‍යුත් ගිටාරය හා හවායි ගිටාරයේ හඬ සිංහල ගීතවලට ඇතුළත් කර තිබෙන්නේ අපේ කතානායකයාය. එදා විදයුත් ගිටාර් ගුවන්විදුලි සංස්ථාවේ වාදනය කිරීමට අවසර ලැබි නොතිබිණි. එවැනි තත්ත්වයක් මත කෙසේ හෝ නව නාද රටා ගුවන් විදුලිය හරහා සිදුකර ගැනිමට දෙනිපිටියන් සමත්වි තිබේ.

සුසිල් ප්‍රේමරත්න, මල්ලිකා කහවිට, සී.ඩි.ෆොන්සේකා,සී.ටි. ප්‍රනාන්දු,සිඩ්නි ආටිගල,අන්ජලින් ගුණතිලක,ක්‍රිස්ටෝපර් පෝල්,අයිරින්ද අල්විස් යන ගායක ගායිකාවන් මෙම විද්‍යුත් ගිටාර් හඬ මුසු කරගැනීමට උත්සුකවී ඇත. තවද රුක්මණි,එඩි යුවළගේ හා ලතා වල්පොල මහත්මියගේ ගී හවායි ගිටාරය යොදාගෙන තිබෙනවා.

පි.එල්.ඒ. සෝමපාල,මොහොමඩ් සාලි,ආර්. මුත්තුසාමි.එම්.කේ. රොක්සාමි, සරත් බාලසූරිය, සරත් දසනායක යන සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ ඔහුන්ගේ නිර්මාණයන්ට මේ අපූරු දක්ෂා ඇති කලා ශිල්පියාගේ සහයෝගය ලබාගෙන තිබීම සුවිශේෂි කරුණකී.

කිමද සුමිහිරියේ ගීතයේ සංගීතය රොක්සාමි මාස්ටර්ගේ වුවද ඒ මහතා යටතේ ආරම්භක සංගීතය වාදනය කර ඇත්තේ දෙනිපිටියන්ය. 1952 සිට 1990 පමණ වෙනකල් චිත්‍රපට වාදක මණ්ඬලවල,පටිගත කිරීම්වල ,දෙස් විදෙස් සංගීත සංදර්ශනවල පැට්‍රික් මහතා සිට ඇත. ගුණදාස කපුගේ ගායනා කළ උන්මාද සිතුවම් ගීතය සරත් දසනායක සංගීතය සැපයූවාට ඔහු එම ගීතයට බොක්ස් ගිටාර් වාදනය සිදුකර ඇත්තේ පැට්‍රික් දෙනිපිටියන්ය. එච්.ආර්.ජෝතිපාල ගායන කළ මේ ජීවනයේ ගීතයේදි බොක්ස් ගිටාර් වාදනය කර ඇත්තේ දෙනිපිටියන් වීම විශේෂයකි. මේ ජීවනයේ ගීතයේ සංගීතය පි.එල්.ඒ.සෝමපාලගෙනි. පෙම්බර මධු ගීතයේත් ලීඩ් ගිටාරය වාදනය කරන්නේ පැට්‍රික් දෙනිපිටියන් වන අතර එවැනි අවස්ථා රැසක් ඇති බව කියැවේ. 1970 දශකයේ චිත්‍රපටවලද වාදනයෙන් සහයෝගය ලබාදී තිබේ. රොක්සාමි මාස්ටර්ද වාද්‍ය භාණ්ඩ රැසක් වාදනය කළ අයෙක් බව තතු දන්නෝ කියතී. රන්රස චිත්‍රපටයේ පැට්‍රික් දෙනිපිටියන් සමග රොක්සාමි මාස්ටර් ඇතුළු සංගීතඥයින් කිහිප දෙනකුම පෙනි සිටිති.

මිල්ටන් මල්වාරච්චි ගායනා කළ ඉවුරුතලා, සයුරු තෙරේ,මානිසා ඔබ, මා ආ එදා, රන්මසු නෑ කියා වැනි ගීත පැට්‍රික් දෙනිපිටියන් සංගීතය නිර්මාණ කළ ගීතවේ.

කඳුකරයේ කිරිඇල්ලේ ගීතය පනහේ දශකයේ සිදුකර තිබෙන අතර එය මෙතුමාගේ පළමු නිර්මාණය ලෙස සැළකිය හැකි අතර අවසන් නිර්මාණය වනුයේ දෙනිපිටිය මහතාගේ ඥාති පුත්‍රයකු වු අයිවෝ නිහාල් හා මාලනි බුලත් සිංහල ගායනා කළ ‘ගලන දියඹ‘ මෙය ධීවර ගීතයකි.

උපහාර ප්‍රසංගයට සිහින ලොවින් මිහිර මැවු ගීතයේ නම යොදා ඇත්තේ මෙහි මුල් පටිගත කිරීමේදි සී.ටි. ප්‍රනාන්දු සමග පැට්‍රික් දෙනිපිටියන්ද මේ ගීතය ගායනා කර තිබේ. තව ගීත කිහිපයක් මෙතුමා ගායනා කර තිබෙන අතර මල්ලිකා කහවිට සමග ගංඟා යමුනා හාවුණා ගීතයද ඉන් තව ගීතයකි.

එදා සමනළයෝ සංගීත කණ්ඩායම්වල ගීත (නැළවෙන මව් උකුලේ) කරගැනීම සඳහා පැට්‍රික් දෙනිපිටියගේ සංගීතය නිර්මාණය කරදී විවිධ නාද රටා මුසු කරගන්න සහයෝගය ලබාදී තිබේ. ග්‍රේන් ලෙනාඩෝස් ගායනා කළ යාල යාල යාල යන්න සතුන් බලන්න යන ගීතවලට සංගීත අධ්‍යක්ෂණ කර තිබේ. ජේ බ්‍රදර්ස් වැනි සංගීත කණ්ඩායම්ද (බරට බරේ රැගෙ යමේ ) වැනි ගීත රැසක් නිර්මාණය කරදීමට දෙනිපිටියන් නිර්මාණාත්මක දායකත්වය ලබාදී ඇත.

සුනිල් ශාන්තයන්ගේ තැටි පලුදු වී යෑම හේතුවෙන් ගීත විනාශවී යෑමට ලක් නොවි ප්‍රතිසංස්කරණ කිරීමේදි දැන් අප අසන ගී සංගීතවත් කරදී ඇත්තේ පැට්‍රික් දෙනිපිටියන්ය.

එම්.එස්. ප්‍රනාන්දුගේ නෙළුම් මලෙන් පෙති කඩලා ඔරුව සදාලා ඇතුළු ගීත කිහිපයක්, එච්.ආර්.ජෝතිපාලගේ අප රට සුරකින කඳසුරින්ඳේ, උමයංගනියෝ ඇතුළු ගී කිහිපයක් ලතාවල්පොල ගායනා කළ ශ්‍රී නි විභුෂිත ලංකා බැබලේ ගීතය අපේ කතානායකයාගේ නිර්මාණයක්වේ. මෙහි පද රචනය හේම ශ්‍රීද අල්විස් ගෙනි. පැට්‍රික් දෙනිපිටියන් නිර්මාණය කළ මේ අමරණීය ගීත පමණක් අපවෙත අද ඉතිරිව ඇත.

මෙම උපහාර ලිපිය සකස් කර ගැනීමට ප්‍රවීණ සංගීතඥ මහෙෂ් දෙනිපිටිය ලබාදුන් සහයෝගය අපි ඉතා අගය කොට සළකමු.

සටහන- අනුර ප්‍රේමලාල්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments