26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දින 18ට කොවිඩ් මරණ 66ක්

දින 18ට කොවිඩ් මරණ 66ක්

මේ වසරේ ගෙවුණු දින 18 ක කාලය තුළ පමණක් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 10,437 ක් වන අතර එම කාලය තුළ සුවය ලැබූ සංඛ්‍යාව 10,400කි.

ගෙවුණු දින 18 තුළ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 66කි.

මේ අතර, දිවයිනට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම රැඳි සිටින ගාල්ල දඩල්ල ප්‍රදේශයේ හෝටලයෙන් තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

මුළුතැන්ගෙයි සහ රෙදි සෝදන අංශයේ දෙදෙනෙකු මෙලෙස ආසාදිතව සිටින අතර ඔවුන් කෑගල්ල හෙට්ටියමුල්ල සහ ගාල්ල මහමෝදර ප්‍රදේශවල අයයි.

මීට පෙරද එම හෝටලයේ කාර්ය මණ්ඩලයෙන් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විය.

එමෙන්ම, අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හඳුනාගත් තවත් ආසාදිතයින් 15 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම ඊයේ (18) රාත්‍රියේ සිදුවිය.

අම්බලන්තොට මැලේකොලනිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 13 දෙනෙකු හා බටඅත ප්‍රදේශයෙන් ආසාදිතයින් දෙදෙනෙකු ඒ අතරට අයත්ය.

මේ අතර, පුත්තලම හින්දු විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ සිසුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

පුත්තලම කිරිවැව ප්‍රදේශයේ පදංචි එම සිසුවාගේ මව, පියා සහ තවත් කාන්තාවන් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

පුත්තලම ලංගම ඩිපෝවේ රියදුරන් දෙදෙනෙකුට හා කොන්දොස්තරවරයෙකුට වෛරසය වැළඳී ඇතැයි හඳුනාගැනීමත් සමග පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් එම ඩිපෝවේ තවත් 118 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදුකළේය.

මේ අතර, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ අත්‍යාවශ්‍ය අංශ හැර සෙසු අංශ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ රියදුරෙකුටත් වෛරසය වැළඳීමෙන් එහි සභාපතිවරයා ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමුකර තිබෙන අතර රියදුරාගේ ආශ්‍රිතයින් 100 දෙනෙකු පමණ සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ උසස් පෙළ ගුරුවරයෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි තහවුරු වීමත් සමග අද එම පාසල තාවකාලිකව වසා දැමුණි.

එමෙන්ම අදාළ ගුරුවරයාගේ බිරිඳ දෙහිඅත්තකණ්ඩිය බඹරවාන මහ විද්‍යාලයේ ගුරුවරියක වීම නිසා එම විද්‍යාලයත් අද තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තේය.

මේ අතර, අරණායක විල්පල ගම්මානයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 90 ක් අතරින් පුද්ගලයින් 13 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම ප්‍රදේශයට අද සිට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

සීදුව පොලිස් ස්ථානයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ මඟින් පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ කොවිඩ් ආසාදිත නොවූ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත්කර යැවීමට අද කටයුතු කර තිබුණි.

ඒ අනුව අදාළ පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කිරීමට ද අද කටයුතු කරනු ලැබීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments