යහපාලන රජය සමයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති “දූෂණ විරෝධී කමිටුවේ” සාමාජිකයන් විසි දෙදෙනෙකුට අදාළ දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කිරීමට නිර්දේශ කර තිබේ.
දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් එම නිර්දේශය කර තිබුණි.
ඉකුත් ආණ්ඩුව සමයේ පිහිට වූ දූෂණ විරෝධී කමිටුව සමාජිකයන් 22ක් සහිත වූ අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාය.
එහි සෙසු සාමාජිකයන් ලෙස හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රාවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක යන අය කටයුතු කර තිබුණි.
එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම යන දෙදෙනාත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, නීතිඥ ජේ. සී. වැලිඅමුණ, ආනන්ද විජයපාල, පී. ප්‍රේමශාන්ත, නිහාල් අමරසිරි, සුජාතා කුමාරි, අයි. වීරරත්න, තුසිත් මුදලිගේ, ලාල් නානායක්කාර, අනුෂ කුමාරස්වාමි, දිනේෂ් පෙරේරා සහා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන පිරිස ද එහි සාමාජිකයන් විය.
මෙම කමිටුව මගින් දේශපාලන පළිගැනීම් සිදුකළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් ලබාදුන් සාක්ෂියකට අනුව සිදුකළ විමර්ශන වලින් පසුව දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් සකස් කළ තීරණ සහ නිර්දේශ ඇතුළත් කැබිනට් මණ්ඩල සංදේශයක් පසුගිය 18 වනදා ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
එහි දැක්වෙන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම කඩකිරීම සහ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවට ජනාධිපති කොමිසම විසින් ඒකමතිකව තීරණය කර ඇති බවය.
ඒ අනුව අදාළ වරද පිළිබඳව කරුණු විමර්ශනය කර දඬුවම් පැමිණවීම සඳහා බලයලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා “විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක්” පත්කළ යුතු බවට එම කොමිසම නිර්දේශ කර තිබේ.
වගඋත්තකරුවන් අතර සිටින රාජ්‍ය සේවකයන් දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය යන නිල නොවන සංවිධානයේ සේවය කිරීමෙන් හෝ සේවයට යෙදවීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද කර ඇති බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.
දූෂණ විරෝධී කමිටු සාමාජිකයන් රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරමින් රජයේ මුදල් වැටුප් වශයෙන් ලබාගනිමින් පොදු දේපල පනත යටතේ දඬුවම් ලැබිය යුතු සාපරාධි වරදක් සිදුකර ඇති බවට ද කොමිසම විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.
ඔවුන් රජයේ මුදල් වැටුප් ලබමින් සාපරාධී සාවද්‍ය පරිහරණයක්ද සිදුකර තිබෙන අතර අගමැති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 3371ක මුදලක් වියදම් සඳහා ලබාගෙන තිබෙන බව ද දැක්වේ.
පොදු දේපල පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම් ලැබිය යුතු සාපරාධී විශ්වාසය කඩකිරීමේ වරද එමගින් කර ඇති බව කොමිෂන් සභාව තීරණය කර ඇති බව සඳහන් වේ.
රාජ්‍ය නොවන සංවිධානයක් වන දූෂණ මර්දන කමිටුවේ රැස්වීම් පැවැත්වීම සඳහා රාජ්‍ය ආයතනයක් වන අරලියගහ මන්දිරය පාවිච්චි කිරීමෙන් පොදු දේපල අවභාවිත කර ඇති බවද කොමිෂන් සභාව තීරණය කර ඇති බව සඳහන් වේ.
වගඋත්තරකරුවන් විසි දෙදෙනාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොමිෂන් සභාව වෙත ඉදිරිපත්ව ඇති සාක්ෂි හා ලේඛන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට යොමු කිරීමට ද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂම විසින් නිර්දේශ කර තිබේ.