ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් (18) පස්වරු 8.45 ට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් 6E1183 නැමැති ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝර් සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදී නවතා පරීක්ෂා කළ අතර ඇයගේ ගමන් බෑග් වල ඇතුළත කෘතිමව සැකසූ ලී රඳවනයන් තුළ ඉතා සුක්ෂමව සඟවා තිබූ කුශ් නැමැති මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවිය.
සොයාගන්නා ලද කුශ් මත්ද්‍රව්‍ය වල මුලු බර ග්‍රෑම් 3,290 ක් වන අතර සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සම්පූර්ණ වීදි වටිනාකම රුපියල් මිලියන 33කට ආසන්න වෙයි.
මෙම සැකකාරිය කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන අතර රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ගේ විමසිලිමත් භාවය නිසා ශ්‍රී ලංකාව තුළට ජාවාරම් කිරීමට උත්සාහ කළ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෑත කාලයේ දී සිදු කරන ලද සුවිශේෂී අත්අඩංගුවට ගැනීම් අතරින් එකක් ලෙස මෙය හැඳින්විය හැක.
සැකකාරිය හා මත්ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකාරිය හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අද අලුයම භාර දෙන ලදී.