දිගින් දිගටම මාධ්‍ය තුළින් තමාට සිදුවන අපහාස සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළාය.
ඒ ඉකුත්දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තෝරාගැනීමේ තරගයේ දී ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් වු නඩු කටයුත්තට පෙනී සිටීමෙන් අනතුරුවය.
එම සිදුවීමේ සැකකාරියන් වන ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්ව සිටි කැරොලින් ජූරි සහ මෝස්තර නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර යන අය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.
ඒ අගතියට පත් පාර්ශවය වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විසින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එය සමථයට පත්කිරීමට හැකියාව පවතින බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.
ඉන් අනතුරුව අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පුෂ්පිකා ද සිල්වා මහත්මිය මාධ්‍යට මෙලෙස අදහස් දැක්වීය.
“මේ වෙච්ච ප්‍රශ්නෙට මම ඇත්තටම කණගාටු වෙනවා. මට මේ ප්‍රශ්නේ ගොඩක් දුරදිග ගෙනියන්න ඕනේ වුණේ නෑ. මොකද මේක මට විතරක් නෙමෙයි මුළු රටට ම බලපාන දෙයක්. ඔවුන්ට තමයි නීතිමය ක්‍රියාමාර්ගවලට යන්න ඕනේ වෙලා තිබුණේ. අද නඩුව කතා කරා. ඇත්තටම අද අපේ නඩුව රජයේ නඩුවක් බවට පත්වුණා. දැන් මම සාක්ෂිකාරියක් විතරයි. තවත් මාධ්‍ය හරහා ඔවුන් මට අපහාස කරගෙන යනවා. ඉදිරියේ දී මගේ නීතිඥතුමියත් එක්ක මට වුණු අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කරගන්න නීතියේ සහය පතනවා.“