29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්19 ‌නොතිබුණා නම් ගෝඨාභයටජනාධිපති වෙනවා තියා අපේක්ෂකත්වය ලැබෙන්නෙත් නැහැ

19 ‌නොතිබුණා නම් ගෝඨාභයටජනාධිපති වෙනවා තියා අපේක්ෂකත්වය ලැබෙන්නෙත් නැහැ

ඉකුත් ජනාධිපතිවරණයේදී ජනතාවගෙන් බලය ඉල්ලා සිටියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු හතරක් සංශෝධනය කිරීමට විනා සමස්ත සංශෝධනයම වෙනස් කිරීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

ව්‍යාවස්ථාදායක සභාව පූර්ණ වශයෙන් දේශපාලනීකරණය වීම, අගමැතිවරයාගේ අදහස් වීමසීමකින් තොරව ජනාධිපතිවරයාට ඇමැති මණ්ඩලය නම් කිරීමට නොහැකි වීම, ජනාධිපතිවරයාට ඇමැතිධුර දැරීමට ව්‍යවස්ථාවෙන් පවතින බාධකය හා ස්වාධීන කොමිෂන් සභා නියෝජිතයන් පත් කිරීමේ හා ඉවත් කිරීමේ විධිවිධාන සම්බන්ධයෙන් වූ ගැටලුව යන දුර්වලතා හැර වෙනත් කිසිදු කරුණක් සංශෝධනයක් කිරීම සඳහා ජනතාවගෙන් බලය නොඉල්ලූ බවත් හෙතෙම කීවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේ ඊයේ (06 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.

ජනතාව කොරෝනා වසංගතයෙන් වෙළී දැඩි ආර්ථික අපහසුතාවන්ට ලක්ව සිටින මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රමුඛ අවශ්‍යතාව විය යුත්තේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් සියලු දෙනා එකතු කර ගනිමින් රට ගොඩනැගීමට පියවර ගැනීම බවද හෙතෙම සඳහන් කළේය. පසුගිය මැතිවරණ දෙකේදීම ජනතාව ජනවරමක් ලබා දුන්නේ ඒ සඳහා යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දහනව වැනි සංශෝධනය පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සකස් කළ සේද මාවත දහනව වැනි සංශෝධනය යැයි කියා සිටියේය. භයානකයි කියන 19 වැනි සංශෝධනයට එදා සරත් වීරසේකර හැර සෙසු සියලුම මන්ත්‍රීවරු එකඟතාව පළ කළ බවත් හෙතෙම සඳහන් කළේය.

‘‘දහනව වැනි සංශෝධනය නොතිබුණා නම් එතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න නාම යෝජනා ලැබෙන්නේ නැහැ. ඒ සංශෝධනය නොවන්නට මේ සංසාරයේදී ජනාධිපතිවරයා වීමට තබා ජනාධිපති අපේක්ෂකත්වය හෝ වත්මන් ජනාධිපතිවරයාට ලැබෙන්නේ නැහැ” යැයි ද හෙතෙම කීවේය. ගල්මුගුරු එල්ල කරමින් මේ විනාශ කිරීමට උත්සාහ කරනනේ ඒ සේද මාවත යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විසිවැනි සංශෝධනය යනු අනාගතයේ ක්‍රියාත්මක කිරීමට නොහැකි අංගවිකල ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්නක් යැයිද එහි භයානකත්වය ආණ්ඩුවේ වගකිව යුත්තන් තේරුම් ගෙන නැතැයිද කී විජයදාස රාජපක්ෂ යම් විධියකින් විසිවැනි සංශෝධනය සම්මත වුවහොත් ඉදිරි වසර දෙක තුන තුළ ජනාධිපතිධුරය නමැති අසිපත මුවහත් කිරීමට සිදු වන බවත් එලෙස මුවහත් කරන අසිපතෙන් ජනාධිපතිවරයාගේ ගෙළ සිඳින්නේ ඊළඟට බලයට පත් වන ජනාධිපතිවරයා යැයිද පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

විසිවැනි සංශෝධනයට අදාළව අගමැතිවරයා පත් කළ කමිටුවේ වාර්තාව ප්‍රසිද්ධ කළේ නැහැ. අගමැතිවරයා කියන්නේ මේ සංශෝධනයේ ගැටලුවක් නැහැ කියලා?

අගමැතිවරයාට ප්‍රශ්නයක් නැත්නම් කමිටුවක් පත් කරන්නේ නැහැ. මේ සංශෝධනයෙන් වැඩියෙන්ම බලතල කප්පාදු වෙන්නේ අගමැතිවරයාගේ.

දහනවය සේදමාවතක් වුණේ කොහොමද?

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වාර ගණන දෙකකට සීමා කළේ 19 වැනි සංශෝධනයෙන්.

අසිපතේ කතාව මොකක්ද?

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ විධායක බලතල නම් අසිපතේ බලය පෙන්නුවේ ප්‍රේමදාස ජනාධිපතිවරයා. විධායක බලතල ඒකාධිපති වියරුවකින් ක්‍රියාත්මක කිරීමට මම එදා සිටම විරුද්ධයි.

රට සුරක්ෂිත කරන්න ජනාධිපතිවරයාට දැන් තිබෙන බලතල ප්‍රමාණවත් නැද්ද?

හොඳටම ප්‍රමාණවත්. එකම අඩුපාඩුව ආරක්ෂක අමාත්‍යාංශය දැරීමට නොහැකි වීමයි. එයත් ගැටලුවක් නෙමෙයි.

එහෙම නම් ඇයි මේ අනවශ්‍ය ගැටලුවක් ඇති කරගෙන තියෙන්නේ?

කාගේ හෝ මෝඩ උපදෙසක්.

ආණ්ඩුව බලයට පත් කරන්න වෙහෙස වූ ස්වාමීන්වහන්සේලා දැන් ආණ්ඩුවට විරුද්ධ වෙලා?

ආණ්ඩුව බලයට පත් කරන්න වෙහෙස වූ ස්වාමීන් වහන්සේලා සියයට අසූවක්, අනූවක් මේ වන විට ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා.

ඔබගේ යෝජනා ආණ්ඩුව පිළිනොගත්තොත්?

ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මම දේශපාලනය කරන්නේ ජනතාව සමගයි. කවර තත්ත්වයක් යටතේ වුවත් මම මගේ දේශපාලන ස්ථාවරය වෙනස් කළේ නැහැ.

විපක්ෂයට යන්න බලාපොරොත්තු වෙනවද?

කිසිම බලාපොරොත්තුවක් නැහැ.

ඔබට මෙවර ඇමැති ධුරයක් ලැබුණෙත් නැහැ. කනගාටුවක් නැද්ද?

මුලින් කනගාටුවක් තිබුණා. නමුත් දුන් ඇමැතිධුරය භාර නොගැනීම ගැන දැන් තියෙන්නේ සතුටක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යමක් කියන්න පුළුවන්ද?

අපේ රටේ නිර්මාණය වූ විශිෂ්ටම දේශපාලන පක්ෂයක්. දේශය ආරක්ෂා කළ පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ. පක්ෂයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම අගමැතිවරයා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්. විහාර මහා දේවියට පසුව බිහිවූ ශ්‍රේෂ්ඨතම කාන්තාව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. එහෙව් පක්ෂයක වත්මන් නායකයන්ට, ප්‍රධානීන්ට වරදාන වරප්‍රසාද ලැබෙනවා නම් බණ්ඩාරනායක ශ්‍රීමතාණන් විතරක් නෙමෙයි බණ්ඩාරනායක මැතිනියත් විකුණගෙන කන්න වුණත් ඔවුන් පසුබට වෙන්නේ නැහැ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments