ඊයේ (6 වැනිදා) පෙරවරුවේ සිට ගෙවී යන පැය 48 ක කාලසීමාව අතිශය තීරණාත්මක බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවැසීය.
පසුගිය දින දෙක ඇතුළත සිදුකෙරුණු පී.සී.ආර්. පරීක්ෂණවල අවසන් වාර්තාවලට අනුව රට තුළ ඇඳිරි නීතිය පැනවිය යුතුද, නැද්ද යන්න පිළිබඳ සහ වෙනත් වැදගත් තීරණ රැසක් අද (7 වැනිදා) ගැනීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඊයේ (6 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
හෙතෙම එහිදී මෙසේද පැවැසීය.
‘‘ඊයේ (6 වැනිදා) සහ අද (7 වැනිදා) පී.සී.ආර්. පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් සිදුකරලා තියෙනවා. ඉදිරියේදී ඇතිවෙන තත්ත්වයන් පිළිබඳ වාර්තා පදනම් කරගෙන තීරණ ගැනීමට බලාපොරොත්තු වෙනවා. පළමු ආසාදිත කාන්තාවගේ සිට රටේ විවිධ ප්‍රදේශවලින් ඇය ඇසුරු කරපු කණ්ඩායම් බොහොමයක් නිරෝධායනයට ලක්කරලා තියෙනවා. තවමත් අදාළ කාන්තාවට වයිරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව විමර්ශන සිදුකෙරෙමින් පවතිනවා.’’
වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හදිසියේ සේවයෙන් පහකිරීමට හේතුව මිලදී ගැනීමේ ක්‍රියාවලියකදී සිදුවූ යම් ගැටලුවක්දැයි ‘අරුණ’ කළ විමසීමේදී ඇමැතිවරයා ඊට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.
‘‘එම කටයුත්තේදී කිසිම දේශපාලන මැදිහත්වීමක් නැහැ. ඒක පරිපාලනමය තත්ත්වයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව අතර තියෙන ප්‍රශ්නයක්. එය සම්බන්ධව සෞඛ්‍ය ඇමැතිවරිය දැනුම් දෙයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවෙලා තියෙනවද කියලා අපි තවම දන්නේ නැහැ.’’
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ එම තනතුරින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය පිළිබඳව ද ‘අරුණ’ විමසා සිටියේය.
‘‘ඔහු තනතුරින් ඉවත් කළේ රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා රියාජ් බදියුදීන් මාස හයකට පස්සේ සාක්ෂි නැහැ කියලා හදිසියේ මුදා හැරීමත් සමගයි. ඔහුගේ බිරිඳත් එදා උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගේට්ටුව ළඟට ඇවිත් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඇය දැනගෙන ඉඳලා තියෙනවා ඔහුව නිදහස් කරනවා කියලා. ඒ සමගම ජනාධිපතිවරයාත් ප්‍රකාශයක් කරලා තිබුණා මේ සිදුවීමට යම් නිලධාරියෙක් සම්බන්ධනම් ඒ පිළිබඳව සොයා බලා පියවර ගන්නවා කියලා. සී.අයි.ඩී. ප්‍රධානියා ඉවත් කළේ ඒ අනුවද?’’
ඇමැතිවරයා ඊට පිළිතුරු ලබාදුන්නේ මෙසේය.
‘‘එයත් පරිපාලනමය තීන්දුවක්. මේ මොහොතේ කතිකාවක් ඇතිවෙන්නේ ඒ සම්බන්ධව තමයි. ඒ පිළිබඳව ගනු ලබන තීන්දු, තීරණ ඉදිරියේදී බලාගන්න පුළුවන්. මේ ගැන රජයට ඇඟිල්ල දිගු කරපු අවස්ථාත් තිබුණා. මේක සම්පූර්ණයෙන්ම පොලිසියේ පරිපාලනය පිළිබඳ ප්‍රශ්නයක් සහ නීතිය පිළිබඳ ප්‍රශ්නයක්. උසාවියට නොගොස් තීන්දුවක් නොගත්තේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා.
ජනාධිපතිවරයා පැහැදිලිව කියලා තියෙනවා පසුගිය කාලයේ සිදුවූ ආකාරයට දේශපාලන මැදිහත්වීම් මත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමට තමා සූදානම් නැහැ කියලා. නිසි පරීක්ෂණවලින් පසු අදාළ නිලධාරීන් විසින් එය සිදුකරනු ඇතැයි ඇතැයි කියලා ජනාධිපතිවරයා කියලා තියෙනවා. ඒ නිසා ඒකට උත්තරේ බෙහොම පැහැදිලියි. මේවට දේශපාලනඥයන් සම්බන්ධ විය යුතු නැහැ. එතන ගැටලුවක් තියෙනවා කියලා රජය දන්න නිසා තමයි ඊට අදාළව පරිපාලනමය තීන්දු අරගෙන තියෙන්නේ.’’
පොලිස්පතිවරයකු පත් නොකිරීම පිළිබඳ ‘අරුණ’ විමසූ අතර, ඇමැතිවරයා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.
‘‘බහුතරයක් තිබුණු පළියට සෑම දෙයක්ම ඊට නතුකරන එක වැරදියි. ඒක කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. 20 වැනි සංශෝධනය පිළිබඳ කටයුතු සිදු කෙරෙනවා. එහෙම තියෙන අපහසුකම් ඉවත් කරගෙන මේ සති දෙක තුන ඇතුළත සියලු කටයුතු අවසන් කරලා, නීත්‍යනුකූල විදිහට ඒ කටයුතු සිදුකරන්න අපි බලාපොරොත්තු වෙනවා.’’
නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ලුහුඬුකම් පිළිබඳ ඇමැතිවරයා මෙසේ පැවසීය.
‘‘මාස ගණනාවක් එකම ක්‍රියාවලියක් සිදුකරනකොට ඕනෑ කෙනෙකුට තත්ත්වය ලිහිල් වෙලා කියලා දැනෙනවා. ඒක ඇත්ත. ඒක අඩුවක්. මිනිස් ස්වභාවය තමයි දැඩි කරලා තියෙන නීති ලිහිල් වීමත් සමග තමන්ගේ හැසිරීමත් ලිහිල්වීම. ඒ පිළිබඳ තමයි අපි ක්‍රියාත්මක විය යුත්තේ. මේ තත්ත්වය වෙනස් කිරීමේදී නිලධාරීන් වෙනස් කිරීම් වගේ වෙනස්කම්වලට අපි යා යුතුයි.
රජයක් විදියට අපිට කරන්න පුළුවන් යම් වැඩ කොටසක් තියෙනවා. ඒ වගේම රජයක් කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වුවත් ජනතාවගේ සහයෝගය නැත්නම් එය සීයට සීයක් සාර්ථක කරගන්න බැහැ.’’
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වූ රැලියකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්ද ඇමැතිවරයා මෙහිදී අදහස් පළ කළේය.
‘‘දැනටමත් එම සිදුවීමට අදාළව දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. සියලුම පුද්ගලයන්ට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්. විපක්ෂ නායකවරයාට අතිරේක ආරක්ෂාවක් අවශ්‍ය නම් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතුයි. එම ඉල්ලීම පිළිබඳ සලකා බලා සිදුකරන තක්සේරුවකදී අතිරේක ආරක්ෂාවක් අවශ්‍යයි කියලා තහවුරු වුණොත් එය ලබාදෙන්න අපි කටයුතු කරනවා.’’
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම අවස්ථාවේදී ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්ව ඒ සම්බන්ධයෙන් මතුකරන ගැටලුකාරී ප්‍රකාශ පිළිබඳව ‘අරුණ’ මෙහිදී විමසා සිටියේය.
‘‘20 වැනි සංශෝධනයට තුනෙන් දෙකක ඡන්දය අඩුවෙන බවක් පේන්න තියනවා නේද මේ මත ගැටුම් නිසා?’’
‘‘ඡන්ද අඩු වෙනවා නම් ඒක ඡන්ද විමසීමේදී පෙනේවි. එක එක්කෙනාට එක එක විදියට පේන්න පුළුවන්. මතවාද සහ විවිධ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකක්ද වෙන්නේ කියලා ඡන්දයක් තියෙන දාට බලාගන්න පුළුවන්.’’ යැයි ඇමැතිවරයා ඊට පිළිතුරු දෙමින් කීවේය.