මේ වනවිට ලෝක ජනගහනයෙන් සියයට දහයක්ම කොරෝනා ආසාදිතයන් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. ඒ පසුගියදා එහි ප්‍රධානීන් විසින් පවත්වන ලද විශේෂ සමුළුවකදීය. එහි ඉහළම නිලධාරියකු ප්‍රකාශ කළේ දැනට සිදුකර ඇති ගණනය කිරීම් අනුව ලෝකයේ බහුතරයක්ම දැඩි අවදානම් තත්ත්වයේ පසුවන බවය. දැනට කොරෝනා වයිරසය ආසාදනය වී සිටිතැයි ස්ථිර කර ඇති සංඛ්‍යාව මිලියන 35කට මඳක් වැඩි වුවද සැබෑ ප්‍රමාණය මිලියන 800ක්වත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොවිඩ්-19 හඳුනා ගැනීමෙන් පසු මේ වනවිට මාස දහයක් ගෙවී ගොස් ඇතත් තවම එහි අවසානයක් දැක ගන්නට නොලැබේ. රටවල් ගණනාවකම වසංගතයේ දෙවැනි රැල්ලද ආරම්භ වී ඇත. මෙයින් සමහරක් පහසුවෙන් පාලනය කිරීමෙන් පසු නැවත ඉහළ සංඛ්‍යාවලින් ආසාදිතයන් මතුවන්නට පටන් ගෙන ඇත. ‘‘සමස්ත ලෝක ජනගහනයෙන් 10%ක්ම කොරෝනා ආසාදනය වූවන්’’ මයික් රයන් පවසයි. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ හදිසි සෞඛ්‍ය වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයාය. එහෙත් එය ජන වර්ගය, නාගරික හෝ ග්‍රාමීය ස්වභාවය මෙන්ම රට අනුවද වෙනස් වනවා’’ යනුවෙන්ද ඔහු පවසයි.
‘‘නමුත් එහි තේරුම ලෝකයෙන් බහුතරයක්ම පසුවන්නේ අනතුරුදායක තත්ත්වයක බවයි. අප දන්නවා වසංගතය දිගින් දිගටම ව්‍යාප්ත වන බව. එහෙත් ඉන් ගැලවීම සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ගද අප දන්නවා. එමගින් කොවිඩ්-19 පැතිරී යාම වැළැක්වීමටත්, ඉන් බේරී සිටීමට මෙන්ම ගොදුරු වූවන්ගේ ජීවිත බේරා ගැනීමටත් අප කටයුතු කළ යුතුයි’ රයන් වැඩිදුරටත් පවසා තිබිණි.
සියලුම රටවල නායකයන්ගේ ඉහළ සහයෝගය ඉල්ලමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ලොව පුරා කොරෝනා ව්‍යාප්තියේ වෙනස්කම් ගණනාවක් පවතින බවය.
‘‘සියලුම රටවල් පාහේ වයිරසයට ගොදුරු වී තිබුණත් එහි ව්‍යාප්තිය හැම රටකම එක සමානව සිදුවී නැහැ. වාර්තා වී ඇති ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවෙන් 70%ක්ම නියෝජනය කරන්නේ රටවල් දහයක් පමණයි. ඉනුත් අඩක් රටවල් තුනකින් වාර්තා වන්නේ’ ඔහු පැවසීය.
මෙ වනවිට මිලියනකට වැඩි පිරිසක් වයිරසයට ගොදුරු වීමෙන් මරණයට පත්වී ඇති බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තාවල දැක්වේ. මින් බහුතරය ඇමරිකා එක්සත් ජනපද, ඉන්දියානු හා බ්‍රසීල ජනතාවය.