කොරෝනා වසංගත සමයේදී දරුවන් ලබන මව්පියන්ට ප්‍රසාද දීමනාවක් ගෙවීමට සූදානම් බව සිංගප්පූරු රජය ප්‍රකාශ කර තිබේ. මෙවැනි පියවරක් අනුගමනය කරන්නට හේතු වී තිබෙන්නේ කොරෝනා වසංගත සමයේදී විශාල පිරිසකට රැකියා අහිමිවීම, මූල්‍ය අපහසුතාවන්වලට මුහුණ දීමට සිදු වී තිබීම වැනි දුෂ්කරතා නිසයි. එවැනි ගැටලු හේතුවෙන් මව්පියන් දරුවන් ලැබීම කල් දැමීමට පෙලඹීම වැළැක්වීම රජයේ අරමුණයි. දරුවකු ලබන දෙමව්පියන්ට කරනු ලබන ප්‍රසාද දීමනාව කෙතරම්ද යන්න සම්බන්ධයෙන් තවමත් අනාවරණය නොවේ. සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හෙන්ග් ස්වී පවසන්නේ එම ප්‍රසාද දීමනාව සම්බන්ධ තොරතුරු පසුව දැනුම්දෙන බවකි.
බිලිඳුන් බිහිකිරීම සහ ඇතිදැඩි කිරීම සඳහා සිංගප්පූරු රජය දෙමව්පියන්ට ප්‍රසාද දීමනා රැසක් මේ වන විටත් ලබාදෙයි. එම දීමනා ලබන්නට සුදුසුකම් ලබන මව්පිය යුවළකට සිංගප්පූරු ඩොලර් 10 000ක ප්‍රසාද දීමනාවක් ගෙවනු ලැබේ. නව ප්‍රසාද දීමනාව ලබාදීමට සිංගප්පූරු රජය සැලසුම් කර තිබෙන්නේ මෙතෙක් ලබාදෙන එම ප්‍රසාද දීමනාවලට අමතරවය.
සිංගප්පූරුව ලොව අඩුම උපත් අනුපාතිකයක් සහිත රාජ්‍යයකි. 2018 වාර්තාවන්ට අනුව ඒ වර්ෂයේ කාන්තාවකගේ සාඵල්‍යතාව 1.14කි. උපත් අනුපාතිකය වැඩි කිරීමට එරට බලධාරීහු දශක කිහිපයක සිටම විවිධ පියවර අනුගමනය කරමින් සිටිති. එසේ වූවත් සිංගප්පූරුවට අසල්වැසි ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ තත්ත්වය මෙයට වඩා ඉඳුරාම වෙනස්ය. කොරෝනා වසංගතයට එම රටවල් අගුළු දමා තිබියදී එකී රටවල කාන්තාවන් ගැබ් ගැනීම ඉහළ ගොස් තිබේ. කොරෝනා වසංගතයට අගුළු දමා තිබියදී ආසියාවේ බොහෝ රටවල කාන්තාවන්ගේ ගැබ් ගැනීම අඩු වී ඇති බව අනාවරණය වේ. චීනයේ උපත් අනුපාතිකයද මේ වසරේදී පහළ වැටී තිබේ. පවුලක දරුවන් ගණන එක දරුවකුට සීමා කිරීම ඉවත් කර තිබියදී චීනයේ උපත් අනුපාතිකය මේ අන්දමට පහළ වැටී තිබීම විශේෂිත බව ජනගහනය පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දෙති.