26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්හොද්දට දාපු කරපිංචා කෑල්ලක් වගේ ජයරුවන් වෛද්‍යවරයා තනතුරින් පහ කළා

හොද්දට දාපු කරපිංචා කෑල්ලක් වගේ ජයරුවන් වෛද්‍යවරයා තනතුරින් පහ කළා

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංචා දූෂණ සිදුකරන පුද්ගලයන්ගේ යහපත සඳහා බව රට රකින ජනහඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පසුගිය 05 වැනිදා තනතුරෙන් ඉවත් කරනු ලැබීය. මේ සම්බන්ධව ඊයේ (07 වැනිදා) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණි. එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද පැවසූහ.

‘‘රට රකින ජනහඬ සංවිධානයේ පළමු ලේකම්වරයා වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරය දැරූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරයි. වෛද්‍ය පර්‌යේෂණ ආයතනය සක්‍රිය වුණේ එතුමා එහි වැඩබලන අධ්‍යක්ෂ ධුරයට පත් වුණාට පස්සේ . ඒක මම කියන කතාවක් නෙවෙයි. ඒ, අගමැති මහින්ද රාජපක්ෂ කියපු කතාවක්. වෛද්‍ය ජයරුවන් හිටියේ වැඩබලන තනතුරක. ඒ සඳහා නිසි පුද්ගලයෙක් පත්කළ යුතු නිසා ඒක කළා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා. අළුයට ගිනි වගේ කොරෝනා මතුවෙනකල් ඉන්න ඕනෑ වුණාද ඔහුව තනතුරෙන් ඉවත් කරන්න? ඔහු කොරෝනා රෝගය මැඬලීම වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙක්. මෙවැනි අවස්ථාවක ඔහුට වරප්‍රසාද දීලා ඉහළින් ඔසවා තැබීමයි කරන්න ඕනෑ. නමුත් ඔහුව දෙවැනි පුටුවෙන් තැබුවා. එතැනට දානවා නම් මීට වඩා සුදුසුකම් තියෙන කෙනෙක් පත් කරන්න ඕන. දැන් පත්කර තිබෙන වෛද්‍යවරයට වඩා සුදුසුකම් තිබෙන අය තව ඉන්නවා. මෙය වෛද්‍ය ජයරුවන්ට කළ අවමානයක්. මෙය ඔහුගේ සේවය නොසලකා හැරීමක්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇතැම් බලධාරීන් වැඩකරන පුද්ගලයන්ට කැමැති නෑ. වැඩකරන පුද්ගලයන් නිසා වැඩනොකරන පුද්ගලයන්ගේ නිරුවත ප්‍රදර්ශනය වෙනවා.

ජනාධිපතිතුමනි මේක දැන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නෙවෙයි. සවුත්තු දෙපාර්මේන්තුවක් වෙලා තියෙන්නේ. ඇතැම් වෛද්‍යවරුන්ට පරිපාලනයත් බෑ වෙදකමත් බෑ. ඇතැම් වෛද්‍යවරුන්ට පරිපාලනයට ආවම වෙදකම අමතකයි.

අද මේ රටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරයේ වැඩ කරන්නෙත් වැඩබලන කෙනෙක්. ඔහු අවම සුදුසුකම් තියෙන කෙනෙක්. සුදුසුකම් ඇති පුද්ගලයන්ව පැත්තකට දාලා. වැඩනොකරන පුද්ගලයන් තනතුරුවලට පත්කිරීමේ ආනිශංස අපි භුක්ති විඳිමින් සිටිනවා.

යම් කෙනෙකුගේ බලපෑමට ජයරුවන් බණ්ඩාර වෛද්‍යවරයා තනතුරෙන් ඉවත් කරන්න ඕනෑ වුණා නම් එතුමා කළ සේවයට නිසි ඇගයීමක් දීලා එය කරන්න. ඔහු නිසි තනතුරට පත්කරන්න. නමුත් හොද්දට දාපු කරපිංචා කෑල්ල වගේ ඔහුව තනතුරෙන් ඉවත් කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments