දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
එම සත්ත්වයාට වෛරසය ආසාදනය වී ඇති බවට නිශ්චිතව තහවුරු වී නොමැති නමුත් ආසාදිත බවට සැක කරමින් සත්ත්වයාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා පළ වී තිබුණි.
එමෙන්ම තවත් සතුන් දෙදෙනෙකු හදිසියේ මියගොස් ඇති බවට පුවත්පත් වාර්තාවල දැක්වුණි.
මේ සම්බන්ධයෙන් “අද දෙරණ“ වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් විමසා සිටියේය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ සිංහයා විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කළ බවය.
කෙසේවෙතත් අනෙක් සතුන් දෙදෙනා මියගොස් ඇත්තේ වෙනත් රෝගාබාධ හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
“දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙක්ට කොවිඩ් පොසිටිව් යැයි සැක කරමින් ප්‍රතිකාර කරනවා. මොකද සතා දින කිහිපයකට පෙර කෑම නතර කළා. ඊට පස්සේ පශු වෛද්‍යවරු යම් යම් ප්‍රතිකාර කළා. පේරාදෙණියට රුධිර පටල යවලා පරීක්ෂණයක් කළා. මුලින් ආවේ නෙගටිව් කියලා. පසුව සතාට පොසිටිව් යැයි සැක කළ හැකි හේතු ඇති බවට අනාවරණය කළා. “
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ අදාළ අංශ ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවය.