25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මැතිවරණ කොමිෂන් සභාවේ පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ,සංවිධාන හා පුද්ගලයින් මාධ්‍ය...

මැතිවරණ කොමිෂන් සභාවේ පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ,සංවිධාන හා පුද්ගලයින් මාධ්‍ය හා සමාජමාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ ඉතාම සාවද්‍ය තොරතුරු මත සිදුකරන ඒවා බව එම කොමිෂන් සභාව දැඩිව අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එහි කරුණු වැඩිදුරටත් මෙසේ දැක්වේ………
කොමිෂන් සභාව පත්වු දින සිට මේ දක්වා නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් කරනු ලැබු කාර්යයන් හා ප්‍රයත්නයන් පිළබඳ නිහඬව සිටි මෙම සංවිධාන අතස්‍ය හා සාවද්‍ය කරුණු මත ස්වකීය දේශපාලන හෝ පටු අරමුණු උදෙසා ස්වාධීන කොමිෂන් සභා යොදා ගැනීම ඛේදජනක කාරණයකී. ජනතාව ගොඩනඟා ගත් ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් දුර්වල කිරීමට හා ජනතා විශ්වාසය බිඳ දැමීමට හේතුවන ලෙස කරුණු ලබන මෙවැනි ප්‍රයත්න මගින් ඔවුන් අපේක්ෂා කරනුයේ කුමන යහපත් සමාජයක්ද යන්න ගැටලුවකී.

මෙම ප්‍රකාශවල සඳහන් කොමිෂන් සභාවේ ස්ථාන මාරුවීම් කටයුතු පිළිබඳ ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමට හැකියාව පැවතියද ඒවායේ දැක්වෙන පෞද්ගලික කරුණු කාරණා හේතු කොටගෙන එසේ කිරීම සදාචාරාත්මක නොවන බැවින් කොමිෂන් සභාව එහින් වැළකී සිටියි. කෙසේ වෙතත් යම් දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට අවශ්‍ය නම් මැතිවරණ කොමසාරිස් ජනරාල් ඇමතීමෙන් අදාළ තොරතුරු පැහැදිලි කර ගැනීමේ හැකියාව පවතී. එසේම පසුගිය කාල වකවානුවලදී ස්වාධීන කොමිෂන් සභා අවශ්‍ය නොවන බවට ජනමතයක් ගොඩනැංවීමට තරම් පසුගිය කොමිෂන් සභාවලට ඇතිවු බලපෑම් හේතුවු බවද සිහිපත් කරනු ලබන අතර කෙසේ වෙතත් මෙහිදි එම කරුණු ඉදිරිපත් කිරීමෙන් යම් පාර්ශවයකට අගතියක් හෝ තවත් පාර්ශවයකට ප්‍රවර්ධනයක් වීමට හේතු විය හැකි බැවින් ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස එවැනි තත්ත්වයකට පත්වීමට ද මැතිවරණ කොමිෂන් සභාව සූදානම් නැත.

මැතිවරණ කොමිෂන් සභාව ස්වකීය කාර්යයන් හා කර්තව්‍යයන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා මැතිවරණ නීතිවලට අනුකූලව කරනු ලබන අතර එහිදී විවිධ අදහස් හා සාධනීය විවේචනයන් අගය කරනු ලැබුවද කිසියම් සංවිධානයක හෝ පුද්ගලයන්ගේ ඕනෑ එපාකම්වලට නතු වීමට සූදානම් නොමැති බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments