21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්තමා දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතුයි -ජනපති

තමා දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතුයි -ජනපති

තමා දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතුයි -ජනපති
ජනතාවගේ පොදු යහපත උදෙසා තමා දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට අවධාරණය කරයි.

බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් අද (25) ආරම්භ වූ “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

“රාජ්‍ය නිලධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටළු සවිඥාණිකව අවබෝධකරගෙන විසඳුම් දීම. ජනතාවගේ පැත්තේ සිට නිවැරදි සහ ඝෘජු තීරණ ගන්නා නිලධාරීන් මම ආරක්ෂා කරනවා. ජනතා ප්‍රශ්නවලට විසඳුම්දීමට රාජ්‍ය ආයතන දිගුකාලයක් ගන්නවා. ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුළත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දෙන්න” යනුවෙන් ජනාධිපතිවරයා නියෝග කළේය.

හල්දුම්මුල්ල, බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙසත්, වෙලංවිට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරතම ගම්මානය ලෙසත් සැලකේ.   “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ පළමු හමුව හපුතලේ, වෙලංවිට, අක්කර 100 ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේ දී ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතා ගැටලුවලට සවන් දුන්නේය.

මාර්ග, විදුලිය සහ පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිවීමෙන් ජනතාව සිය පාරම්පරික ගම්බිම් අතහැර ගොස් ඇති බව ගම්වාසීහූ ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

කලින් සැලකිය යුතු දරු පිරිසක් ඉගෙනුම ලැබූ කුමාරතැන්න විද්‍යාලය සිසුන් 16 දෙනෙකුට සීමාවීම ඊට කදිම නිදසුනක් බව ඔවුන් පැවසීය.

අක්කර 100 සිට වෙලංවිට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනයට, ජල මූලාශ්‍ර හඳුනාගනිමින් පානීය ජල අවශ්‍යතා සපුරාදීමට සහ තෙමසක් ඇතුළත විදුලිය දීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා විසින් නියෝග කරනු ලැබීය.

සන්නිවේදන අවහිරතා නිසා ජන ජීවිතයට සිදුව ඇති ගැහැට පිළිබඳව ජනතාවගේ මැසිවිලි ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය. 

එහිදී සති කිහිපයක් තුළ සන්නිවේදන පහසුකම් සැලසීමට ද තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මේ අතර කුමාරතැන්න විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ඉදිකරදීමට නියම කළ ජනාධිපතිවරයා  ප්‍රදේශය අවට දරුවන්ට ද නැවත පාසලට පැමිණ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසන්නැයි නිලධාරීන්ට දැනුම් දුන්නේය.

සාකච්ඡා මණ්ඩපයට පැමිණි අවට ප්‍රදේශවල ජනතාවගේ තවත් ගැටළු රැසක් ජනාධිපතිවරයා විසින් විසඳුම් මඟට යොමු කරනු ලැබීය.

කිරවනාගම සහ නිකපොත මහ විද්‍යාලවල සහ කොස්ලන්ද ජාතික පාසලේ ගුරු හිඟය විසඳීමටත්,  හාලිඇළ මලිත්ත මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සකස්කර දීමටත් ජනාධිපතිවරයා විසින් නියම කරන ලදි. 

ඒ හැර වැල්ලවාය ගම්පහ මහා විද්‍යාලයට විදුහල්පතිවරයෙකු පත් කිරීමට, සොරගුණේ සහ ජනානන්ද විද්‍යාලවල අඩුපාඩු විසඳීමට සහ හපුතලේ දෙමළ මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස් කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ආබාධිත රණවිරුවෙකු කළ ඉල්ලීමට අවධානය යොමු කළ රාජපක්ෂ මහතා ගම්මාන 7ක් නියෝජනය කරන මොරකැටිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියම කළේය.

කොළඹ – මඩකලපුව මාර්ගයේ කිලෝමීටර් 35 ක් වූ බෙරගල – වැල්ලවාය කොටස, කැලිපනාවෙල, හාල්කන්න මාර්ගය වැල්ලවාය දක්වා කොටස, අක්කර සියය කක්කුටුඅරාව මැද මාර්ගය, දෙහිලන්ද – අලුත්වෙල යා කරන මාර්ගය සහ අතුරු මාර්ග ඉදිකිරීම් නොපමාව නිම කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුනි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට, වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ ගැටලු ගොනු කොට හිමිකම් සහ ඔප්පු දීමට පියවර ගන්නැයි ද නියම කෙරිණි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගොවීහූ දිවයිනේ වැඩිම ගම්මිරිස් ඵලදාවකට සහ සශ්‍රීක වගාවකට උරුමය කියති. ඉන් වැඩි පිරිස කාබනික ගම්මිරිස් වගාවට යොමුව සිටිති. ඔවුන් මුහුණ පා ඇති සියලු ගැටලුවලට විසඳුම් දීමට මෙහිදී ජනාධිපතිවරයා විසින් පියවර ගන්නා ලදී.

වී, කුරුඳු, කෝපි ඇතුළු සියලු වගා කටයුතුවලදී ගොවීන්ට ඇති ගැටලු දීර්ඝ සාකච්ඡාවට ලක්වූ අතර වන සංරක්ෂණ මැණුම් කිරීමේදී සිදුව ඇති අතපසුවීම් නිවැරදි කරන්නැයි ජනාධිපතිවරයා නියෝග කළේය.

රැස්ව සිටි කුඩා දරුවන් සිටින සියලුදෙනාගේ ගැටලුවලට හැකි උපරිමයෙන් විසඳුම් දුන් ජනාධිපතිවරයා සාකච්ඡා මණ්ඩපය නිමවීමෙන් අනතුරුව ප්‍රදේශයේ වගා බිම් සහ නිවෙස් කිහිපයකට යමින් තොරතුරු විමසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments