21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වැලිකඩ බන්ධනාගාරය මිල්ලෑවට යනවිට කාන්තා රැඳවියන් සමඟ සිටින දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය...

වැලිකඩ බන්ධනාගාරය මිල්ලෑවට යනවිට කාන්තා රැඳවියන් සමඟ සිටින දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී  කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට අද (06) දින උපදෙස් දුන්නේය.

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ අක්කර 200ක භූමි භාගයක ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයා බැලීමට සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාව සඳහා අරලියගහ මන්දිරයේ සිට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

රුපියල් බිලියන 30ක් වැයවන මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීමට අපේක්ෂිත බව නාගරික සංවර්ධන අධිකාරියේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  නිලධාරිහු මෙහි දී අග්‍රාමාත්‍යතුමාට විශ්වාසය පළ කළහ.

රටේ පවතින  ආර්ථික තත්ත්වය හමුවේ මහා භාණ්ඩාගාරයෙන් ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීමක් මේ මොහො‌තේ සිදු නොවන බැවින් රජයට බරක් නොවී විකල්ප මාර්ග ඔස්සේ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මෙහි දී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළේය.

බොරැල්ල පිහිටි වැලිකඩ බන්ධනාගාර භූමිය අක්කර 40 කි.  එහි ඇති චැපල් වාට්ටුවත් බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් සැළසුම්කර තිබේ.

ඒ හැරුණු කොට වෙනත් ආයෝජන සඳහා එම භූමියෙන් අක්කර 35ක් වෙන් කෙරෙණු ඇත. ආයෝජකයන් කිහිප දෙනෙකු මේ වනවිටත් එහි ව්‍යාපෘති සඳහා එකඟතාව පළකර ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

දැනට එසේ කැමැත්ත පළ කර සිටින ආයෝජකයන්ට අමතරව තවත් ආයෝජකයන් සිටී නම් ඔවුන්ට ද මෙහි ආයෝජන සඳහා ආරාධනා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට මෙම හමුවේ දී උපදෙස් දුන්නේය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන හොරණ මිල්ලෑවේ පිහිටි භූමිය වතු සමාගමකට අයත් රබර් වගාකළ ඉඩමකි. එහි සේවයේ නිරතව සිටි වතු සේවකයන්  123 දෙනෙකුට මේ යටතේ වන්දි ගෙවීම සිදු වේ. ඔවුන් පදිංචිව සිටි වතු නිවාස 57ක් වෙනුවට නාගරික සංවර්ධන අධිකාරිය නව නිවාස 57ක් අලුතින් ඉදි කරනු ලබයි.

මැගසින් බන්ධනාගාරය පළමුවත් සෙසු බන්ධනාගාර ඉන් අනතුරුවත් මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කෙරෙන අතර වැලිකඩ එල්ලුම්ගහ ද මේ යටතේ හොරණට රැගෙන යන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

රක්ෂිත බන්ධනාගාරගත කරන්නන් වරදකරුවන් නොවන අය බැවින් රිමාන්ඩ් බන්ධනාගාරය හොරණට රැගෙන යන විට ඒ අය සම්බන්ධයෙන් පහසුකම් ස්ථාපිත කිරීම යෝග්‍ය බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී පෙන්වා දුන්නේය.

ඇතැම් කාන්තා රැඳවියන් සමඟ දරුවන් ද සිටින බැවින් එම දරුවන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව ගැන ද  විශේෂ අවධානයක් යොමුකරන්නැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව කාන්තා බන්ධනාගාරය මිල්ලෑවේ ස්ථාපිත කරන විට දරුවන් සිටින රැඳවියන් වෙන්කර දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ද සකස්කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අග්‍රාමාත්‍යතුමාට විශ්වාසය පළ කළේය.

මැගසින්, වැලිකඩ, රිමාන්ඩ්, කාන්තා යන බන්ධනාගාර එම නම් වලින්ම හොරණ මිල්ලෑවේ ස්ථාපිත කෙරෙනු ඇත. බන්ධනාගාර රෝහල, බන්ධනාගාර පුහුණු පාසල, පුනරුත්ථාපන මධ්‍යස්ථානය, බන්ධනාගාර බුද්ධි අංශය ද මිල්ලෑවේ ස්ථාපිත කෙරෙන අතර බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේ ද, නිල නිවාස සංකීර්ණයක් මාළඹේ ද ඉදිකෙරනු ඇත.

ආරක්ෂාව සහ තාක්ෂණයට ද මුල් තැන දෙමින් නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකෙරෙන අතර බන්ධනාගාරයේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු සඳහා රැඳවියන් ඉදිරිපත් කිරීමේ තාක්ෂණික පහසුකම් ද එහි ස්ථාපිත වේ.

මෙරට බන්ධනාගාර පද්ධතියේ රැඳවියන් 11,000ක් රඳවා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් ඇතත් එම සංඛ්‍යාව මෙන් දෙතුන් ගුණයක් දැනට රඳවා සිටින බැවින් ජාත්‍යන්තරයෙන් ඊට දැඩි විවේචන එල්ල වී ඇති බව මෙහි දී ප්‍රකාශ කළ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා බොරැල්ල පිහිටි වැලිකඩ බන්ධනාගාරය මිල්ලෑවේ ස්ථාපිත කිරීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක් බව පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී එස්. සෙනරත්, අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) වී.ආර්.සිල්වා, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කර මහත්වරු ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments