වී මිලදී ගැනීමේත් සහල් වෙළඳපොළෙත් ඒකාධිකාරිය බිඳින්න ඕනෑ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය…………
කෝටි දෙකකට අධික රටේ ජනතාවගේත් 18 ලක්‍ෂයක් පමණ යෙදී සිටින කෘෂිකර්මාන්තයේත් වගකීම් සම්බන්ධයෙන් ආණ්ඩුව අසමත් වී ඇති බව තහවුරු කර තිබෙනවා. අනෙකුත් ක්‍ෂේත්‍රවල මිල ඉහළ යෑම් ලෝක වෙළඳපොළේ බලපෑමෙන් සිදුවූ බව කියනවා. කිරිපිටි, සුදුළුෑණු, පරිප්පු වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම අපිට පාලනය කරන්න බැහැ කියනවා. එහෙම නම් හාල් මිල ඉහළ ගියේ ඇයි? අපේ රටේ නිෂ්පාදනයක්, රුපියල්වලින් ගනුදෙනුකරන භාණ්ඩයක් වෙලත් මිල ඉහළ ගියේ මේ පාලකයන්ට දැක්මක් සහ වැඩපිළිවෙළක් නොමැති නිසයි. ජනාධිපතිවරයාත් ඔහුටම හරියන කෘෂිකර්ම ඇමතිවරයාත් මේ ක්‍ෂේත්‍රය මුළුමනින්ම අවුල් ජාලාවක් බවට පත්කර තිබෙනවා. ජනාධිපතිවරයා ඇඟෙන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා කටෙන් මෙහෙයවීමේ ප්‍රතිඵල හැටියට මෙවැනි වියවුලක් නිර්මාණය කර තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වෙන්න කලින් ඔහු සම්බන්ධයෙන් විශාල ප්‍රතිරූපයක් සහිත ප්‍රබන්ධයක් ගොඩනැගුවා. දැන් අයිස් කන්දක් දියවෙනවා වගේ සැබෑ ස්වභාවය හෙළිවෙමින් තිබෙනවා. එය තේරුම් ගන්න තිබෙන හොඳම ක්‍ෂේත්‍රය අපේ රටේ කෘෂිකර්මාන්තයයි.
සහල් මිල පාලනය කරන්න විද්‍යාත්මක නොවන, තාර්කික නොවන විසඳුම් ඉදිරිපත් කළා. එකක් ගැසට් නැවත නැවතත් නිතුත් කිරීම. මෙයට සති දෙකකට පමණ පෙර මම මාධ්‍ය හමුවකදී සහල් මිල සම්බන්ධ ගැසට් නිවේදනය හකුළා ගන්නා බවට අනාවැකියක් පළ කළා. හාල් මිල පාලනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා කඩවල්වලට ගිහිල්ලා මාධ්‍ය සංදර්ශන ඉදිරිපත් කළා. බැසිල් රාජපක්‍ෂ මහත්තයා කාර්ය සාධක බලකායේ ප්‍රධානියා හැටියට ජනාධිපතිවරයාත් සමගම මෝල් හිමියන් එක්ක සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී ජනරාල්වරයෙක් ඬේටා බේස් එක අපි ළඟ තිබෙන බව කීවා. බැසිල් රාජපක්‍ෂ කීවේ පාලන මිලට විකුණන්නේ නැත්නම් මෝල් පවරා ගන්නා බවයි. ඊට පස්සේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කළා. විශේෂ කාර්ය සාධක බළකාය එස්.ටී.එෆ්. එක පිරිවරාගෙන ගිහින් හාල් මෝල් වටළලා සාංදර්ශන පෙන්නුවා. ජනාධිපතිවරයා මේ මාධ්‍ය සංදර්ශනවලින් මෝහනයට පත්වෙලා ඉන්නේ. ඔහු බලයට එන්නෙත් මාධ්‍ය සංදර්ශන හරහායි. දැන් පැහැදිලි වෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ යනු හිස්, මාධ්‍ය ප්‍රබන්ධයක් බවයි. සමහර ක්‍ෂේත්‍ර පිළිබඳව තමන්ගේ අවබෝධය අඩුවෙන්න පුළුවන්. හරි නායකයෙකු නම් නිවැරදි උපදෙස් ලබාගෙන ක්‍රියා කළ යුතුයි. නමුත් ඔහුත් කෘෂිකර්ම ඇමතිවරයාත් සහල් අපනයනය කරන ප්‍රධාන රටක් බවට අපේ රට පත්කරන බවට වහසිබස් දෙඩුවා. අවසානයේ මීට මාස දෙකකට පමණ පෙර කෘෂිකර්ම ඇමතිවරයා සහ මෝල් හිමියන් අතර සාකච්ඡාවක් පවත්වා වී මිලදී ගැනීමේ මිල අමාත්‍යාංශයේ බලකිරීම පරිදි මෝල් හිමියන් විසින් ප්‍රකාශයට පත්කළා.
ලංකාවේ පළමුවැනි වතාවට වීවලට පාලන මිලක් දැම්මා. ඒ දක්වා තිබුණේ සහතික මිලක්. එයින් කියවෙන්නේ ඒ මිලට වඩා වැඩියෙන් කිරන්න පුළුවන් බව. නමුත් රුපියල් 50ට වඩා වැඩියෙන් වී කිරන්න බැහැ කියලා පාලන මිලක් දැම්මා. ගොවි ජනතාව විශාල වශයෙන් අසරණභාවයට පත්වුණා. සිංහල අවුරුද්දට කලින් මාස් කන්නයේ අස්වැන්න ලැබෙන කාලයේ රුපියල් 50ට වඩා වැඩියෙන් වී මිලට ගන්න දෙන්නේ නැහැ කිව්වා. ගොවියෝ අස්වැන්න නෙළලා ගෙදර ගේන්න අක්කර දෙක හමාරකට රු. 40,000ක්වත් වැය වෙනවා. නමුත් ඔවුන්ට දෙන්න වුණේ තුට්ටු දෙකට. කෘෂිකර්ම ඇමතිවරයා ගොවියාගේ පැත්ත වෙනුවට මෝල් හිමියන්ගේ පැත්ත නියෝජනය කරමින් රු. 50ට වඩා වැඩියෙන් වී කිරන්න දෙන්නේ නැහැ කීවා. දැන් මේ වෙනකොට ගොවිජනතාව ළඟ තිබෙන්නේ කුඩා ප්‍රමාණයක්. වැඩිම වී පංගුව තිබෙන්නේ වී මිලදී ගන්නන් ළඟ. දැන් නාඩු රු. 50ට, සම්බා රු 52ට, උපරිම වශයෙන් මිලදී ගෙන ඩඞ්ලි සිරිසේන සහල් මිල තීරණය කළා. මහා පරිමාණ මෝල් හිමියන් මාධ්‍ය හමුවක් තියලා නාඩු රු. 115ට, සම්බා140ට, කීරි සම්බා 165ට මිල නියම කළා. හැබැයි මේ මිලට විකුණන්නේ රු. 50ට ගත්ත වී තොගයි. ගොවි ජනතාවට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාගන්න තිබුණු ඉඩකඩ ආණ්ඩුවෙන් ඇහිරුවා.
සහල් ඒකාධිකාරිය බිඳින්න හදන්නේ හාල් ආනයනය කරලානම් ඔය ඔක්කොම කරන්න පුළුවන්නේ. ගෝඨාභය බලයට ඇවිල්ලා මේ නොවැම්බර් මාසෙට අවුරුදු දෙකක් වෙනවා. අපේ රටේ සාමාන්‍ය මාසික සහල් පරිභෝජනය මෙටි්‍රක් ටොන් එක්ලක්ෂ අනූපන්දාහයි (195,000). ඒ කියන්නේ ආසන්න වශයෙන් වසරකට අපිට මෙටි්‍රක් ටොන් ලක්ෂ 24ක් ඕනෑ. හාල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 24ක් ගන්න ආසන්න වශයෙන් වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 36ක් ඕනෑ. හැබැයි මහ බැංකු වාර්තාවල සඳහන් වෙනවා ගිය අවුරුද්දේ අපේ රටේ සහල් නිෂ්පාදනය ට්‍රfික් ටොන් ලක්ෂ 50යි කියලා. පරිභෝජනයට අවශ්‍ය වෙන්නේ මෙටි්‍රක් ටොන් ලක්ෂ 36යි. එහෙනම් ප්‍රශ්නෙ තියෙන්නෙ කොතනද?
රටේ නිෂ්පාදනය ප්‍රමාණවත්ව තිබෙනවා. නිෂ්පාදනය ක්‍රමවත්ව බෙදාහැරීම සඳහා ආණ්ඩුවට සැලැස්මක් නැහැ. හාල් මිල ඉහළ යනකොට රටේ හාල් නිෂ්පාදනය ක්‍රමානුකූලව බෙදා හරින්න විධිමත් සැලැස්මක් නැතුව, රටින් හාල් ගෙනත් ගොඩගහන්න පාලකයෝ ඕන නැහැ. අර පිටකොටුවේ තොග වෙළෙන්දෙකුට දෙන්නකො. එයා මීට වඩා ඒක කරයි. මේ ප්‍රශ්නයට කරන්න ඕනා ක්‍රමවත් මැදිහත්වීමක්. වී මිලදී ගැනීම, වී ගබඩා කිරීම, හාල් බවට පත් කිරීම, තොග වෙළඳාමේ පංගුවක් රජය අත්පත්කරගන්න ඕනා. ඒ ගොවි සමිති ජාලයක් හරහා, කුඩා මෝල් හිමියන්ගේ ජාලයක් හරහා මේක ප්‍රධාන වැඩක්. ක්‍රමිකව එහෙම මැදිහත්වෙලා කන්න දෙකතුනක් මහන්සි වුණානම් අද මේ ප්‍රශ්නය රටේ නැහැ. ඒකයි කරන්න ඕනා. එහෙම නැතුව තරඟකාරිත්වය ඇති කරන්න පිටරටින් සහල් ආනයන කිරීම නෙවෙයි කියලා අපි හිතන්නේ.