29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජනපතිගේ බලය කප්පාදු කරන්නවත් අගමැති පඹයෙක් කරන්නවත් අපි කියන්නේ නැහැ

ජනපතිගේ බලය කප්පාදු කරන්නවත් අගමැති පඹයෙක් කරන්නවත් අපි කියන්නේ නැහැ

තමන් විපක්ෂයක් ලෙස ජනතාව ගැන සිතා සහන ලබාදීමට කෙතරම් යෝජනා ඉදිරිපත් කළත් රජය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට යටවෙල ඒ කිසිවක් අවධානයට ලක් කරන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා (18 වැනිදා) දින ගල්කිස්සේ දී පැවසීය.

ඔහු එසේ පැවසුවේ දැනට අසනීපයෙන් පසු වන ගල්කිස්ස ශ්‍රී ධර්මපාලරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය කොටු ගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

‘‘අද රජය රටේ සියලු ප්‍රශ්න පසෙකට දමා රජය 20 වැනි සංශෝධනය පසුපස යන නිසා කොරෝනා වසංගතයටත් ප්‍රතිකර්ම නොමැතිව රට පුරා බරපතළ තත්ත්වයක් මතු වී තිබෙනවා’’ යැයි කී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද කීය.

විපක්ෂයක් වශයෙන් අප ජනතාව වෙනුවෙන් යෝජනා කීපයක් ඉදිරිපත් කළා. එකක් තමයි කොරෝනා කාලයේ ගිලන් වූ අයයි ගිලන් නොවූ අයයි එකට බස්වල දාගෙන කඳවුරුවලට රැගෙන යෑම පාර්ලිමේන්තුවේ දී කතා කළාම එය නතර කළා. මා මීට දින කීහපයකට පෙර ඉල්ලා සිටියා ජනතාවට ලබා දිය යුතු සහන බොරු ඇස්බැන්දුම් නොකර කඩිනමින් ලබා දෙන්න කියලා. ඒ අනුව අද කෙටි පණිවුඩයකින් දැනගන්න ලැබුණා ඒ සඳහා යම් සහනයක් ලබා දෙන්න යන බව.

අප විපක්ෂයක් වශයෙන් රට ගැන සිතලා පෞද්ගලික රුචි අරුචිකම් පසෙක දමා රට දැය වෙනුවෙන් සේවය කිරීමට දහනවයද විස්සද කියන කිසිවක් අදාළ නැතිව කටයුතු කරනවා. නමුත් අප විශ්වාස කරනවා 19 තුළ යහපත් රාජ්‍ය පාලනයක් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තිබෙනවා කියා. ඒ අනුව අප 19 ප්ලස් ව්‍යාපාරය පටන්ගෙන තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තිබෙන සාධනීය ප්‍රතිපාදන සියල්ල සුරක්ෂිත කරමින් තමයි අප මේ ගමන යන්නේ. අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර බල අරගලයක් නිර්මාණය නොවිය යුතුයි. ජනාධිපතිවරයාගේ බල කප්පාදු කරන්නත්, අග්‍රාමාත්‍යවරයා පඹයෙක් කරන්නත් අපි කියන්නේ නෑ. ඒ අනුව 19 ප්ලස් වැඩ සටහන තුළ ජාතික ආරක්ෂක කවුන්සලයක් රටේ ව්‍යවස්ථාව හරහා ක්‍රියාත්මක කරනවා.

මා නිතරම කියන්නේ ප්‍රබුද්ධ, ප්‍රසස්ථ තන්ත්‍රයක් තුළ පුද්ගලික මතවාද පසෙකලා කටයුතු කරන්න කියලයි. කුමන සංශෝධනයක් තිබුණත් රට ගැන සිතා කටයුතු කළා නම් එදා පාස්කු ප්‍රහාරය එල්ල වන්නේ නෑ. ඒ අනුව එදා රටේ ජාතික ආරක්ෂක යාන්ත්‍රණයේ බරපතළ අඩුපාඩුවක් තිබුණු බව පෙනී යනවා. මේ දේවල් ගැන එදා මා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නත් ඒවාට ඒ පාලකයින් කන් දුන්නාද නැද්ද කියලා අද සිදුවන දේවලින් පෙනී යනවා.

ජනතාවට සහන දෙනවා කීවාට අද වෙළෙඳපොළට ගිහින් බලන්න ඔය කොලකෑලිවල ලියන ගණන්වලට බඩු තියෙනවාද කියලා. ඒ නිසා ජනතාවට අද ඒ සියල්ල තේරිලා තියෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments