29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්දැන් ජනතාවට ඉන්න රටකුත් නෑ - කන්න දේකුත් නෑ, කාන්තාව ලිප්ගල් තුනට...

දැන් ජනතාවට ඉන්න රටකුත් නෑ – කන්න දේකුත් නෑ, කාන්තාව ලිප්ගල් තුනට කොටු කරන පාලනයට එරෙහිව නැගී සිටින්න.

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ්



මේ වන විට බඩු මිල වැඩිවීමෙන් අපේ රටේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මේ රටේ පාලකයන්ට පෙන්වා දෙන්න සිදු වී තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු දෙකක්වත් ගත වෙන්න පෙර මැතිවරණවලදී විශේෂයෙන්ම කාන්තාවන්ට දුන් පොරොන්දු සියල්ල කඩකර තිබෙනවා. නමුත් අගමැතිකම, ජනාධිපතිකම, 2/3 බලය සහ 20 වෙනි සංශෝධනය යටතේ ජනතාධිපතිතුමාට වැඩි බලතල ලබාදීම සහ හදිසි නීතිය යටතේ තවත් බලතල රාශියක් ලබා ගත්තා. කාන්තාවන් මුහුණ දෙන ආර්ථික සමාජීය ප්‍රශ්න විසඳන්න ඔවුන් බලය ඉල්ලුවා. කාන්තාවන් ප්‍රමුඛව ජනතාව බලය දීලා කෙටි කාලයකදීම මේ කණ්ඩායමට රටක් හදනවා තියා ගමේ පුංචි ප්‍රශ්නයක්වත් විදන්න බැහැ කියලා දැන් පැහැදිලි වෙනවා. අපේ රටේ ජනාධිපති, අගමැතිට වඩා හාල් මුදලාලිලාගේ නම් දන්නවා. සීනි මුදලාලිලාගේ නම් දන්නවා. පීඩාවට පත්වී උහුලගන්න බැරිව ඉන්න ජනතාවට දැන් විඳවන්න සිදුවී තිබෙනවා.

පහුගිය කාලයේ එන්නත් පෝලිම් තිබුණා. ඒ වගේම සමෘද්ධිය වගේ සහනාධාර ගන්නත් පෝලිම්වල හිටියා. මේ පෝලිම් සියල්ලටම වැඩිය අලුත් පෝලිම් ගමක් ගානේ ඇති වුණා. රොකට් වේගයෙන් රට සංවර්ධනය කරන බව කීවාට නැවතත් පෝලිම් යුගයට ගෙන ගියා. සීනි කිලෝ දෙකක් ගන්න, කිරිපිටි පැකට් එකක් ගන්න, අඩු මිලට හාල් ගන්න, ගෑස් ගන්න, මහපාරේ පොලිම්වල ඉන්න කාන්තාවන්ට සිදුවුණා. නමුත් අපේ රටේ නායකයෝ ගුවන්ගත වුණා. බහුතර කාන්තාවෝ පෝලිම්ගත වුණා. මේක තමයි ඇති කළ ආර්ථික සෞභාග්‍යය. ආණ්ඩුව ගෑස්, හාල්, සීනි මුලලාලිලාට මුවාවුණා. මේ නිසා ලංකා ඉතිහාසයේ 84%කින් ගෑස් මිල වැඩි කිරීමට ඒ කොම්පැනිකාරයෝ ක්‍රියාකළා. ගෑස් මිල වැඩි කිරීමෙන් ප්ලේන්ටියේ ඉඳලා මිල වැඩි වෙනවා. ප්‍රවාහන ගාස්තු අමතර ගාස්තු යනාදී වශයෙන් කොපමණ ගාස්තු එකතු කරනවාද? ඒ අතර ගෑස් මිල වැඩිවීම කිසිසේත් දරාගත නොහැකි මහා පීඩනයක් බවට පත්වී තිබෙනවා.

ගෑස්වලින් උයන බහුතරයක් කාන්තාවන්ට ලිපට දාන්න කියන්නේ මොනවාද? කොන්ක්‍රීට් යුගයකට රට ගෙන ගිය නිසා වනාන්තර නැහැ. අනික් පැත්තෙන් අපේ නිවාස පර්චස් කීපයකට සීමා වෙලා තියෙන්නේ. ඒ වගේම තට්ටු නිවාසවල විශාල ජනතාවක් ඉන්නවා. මේ තට්ටු නිවාසවල දර ලිපක් හදා ගන්න පුලුවන්ද? ගෑස් ලිපට මොනවා දාලාද ගිනි මොළවන්නේ? සෞභාග්‍යයේ දැක්ම දාලාද? එහෙම නැත්නම් ළඟදී හෙළිවුණු පැන්ඩෝරා පේපර්ස් දාලාද? සීයයට 84කින් ගෑස් මිල වැඩි වුණාට පස්සේ ගෑස් සිලින්ඩරයක් ගන්නේ කොහොමද? මේ වන විට කාන්තාවෝ භූමිතෙල් ලිප් හොයා ගෙන යන අලුත් පෝලිමක් හැදිලා. ඉතාමත්ම අවම භූමිතෙල් ලිප තිබුණේ රුපියල් 500ට. හවස මිලදී ගන්න යද්දී රුපියල් 950 දක්වා වැඩි කරලා. උදේ මිල අහලා සල්ලි හොයා ගෙන සවස යද්දී මේ ආකාරයට මිල වැඩි කරනවා නම් මොකද කරන්නේ? රුපියල් 1500ට තිබුණු භූමිතෙල් ලිප රුපියල් 4500ක් වෙනවා. ඇමතිවරු අගමැතිවරු මේවා ගැන හොයන්න නැහැ. හිතෙන හිතෙන ආකාරයට මිල වැඩි කරනවා. රොකට් වේගයෙන් ආර්ථිකය හදන බව කීවාට මුළු කුස්සියම අඳුරු කළා. දරුවන්ට එක වේලක් හරි උයලා දෙන්න කාන්තාවෝ දැන් මොකද කරන්නේ?

හැබැයි, ශ්‍රී ලංකා මහ බැංකුව උද්ධමනය සම්බන්ධයෙන් හරි අපූරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. “කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 සැප්තැම්බර් මාසයේදී 5.7%කින් අඩු වෙලා තිබෙනවා.” කියලා ඒ නිවේදනයේ සඳහන් වෙනවා. බඩු මිල අඩුවෙලාද, වැඩිවෙලාද, රුපියල බාල්දු වෙලාද නැද්ද කියලා මේ නිවේදන නිකුත් කරන මහත්වරු ගිහින් බලන්න. අගමැතිවරයා, ඇමතිවරු කඩවලට යන්න. මේ ආණ්ඩුවෙන් රුපියල් 60ට අඩුකළ පරිප්පු දැන් 260 වෙලා නැද්ද? උද්ධමනය වැඩි වෙලා තියෙන හැටි රුපියල් 5000 කොළය රුපියල් 100ක්වත් වටින්නේ නැති තැනට පත්වීමෙන් පැහැදිලි වෙනවා. මාධ්‍ය නිවේදන නිකුත් කරන නිලධාරීන්, භාණ්ඩාගාර ලේකම් නොදන්නවා වුණාට කඩේ මුදලාලිත් අපේ අම්මාත් බඩුමිල වැඩිවීම ගැන දන්නවා. ඒ නිසා මේ වගේ මිනිස්සුන්ව අන්දන එක දැන්වත් නවත්වන්න කියලා අවධාරණය කරනවා.

කාන්තාවන්ගේ මූලික බලාපොරොත්තුව තුන් වේල කාලා දරුවෝ එක්ක සතුටින් ජීවත් වෙන්න. ඔවුන් ඡන්දය දුන්නේ මේ මූලිකම අරමුණු ඉටුකර ගන්න සිහින දකිමින්. ජනාධිපතිවරණය එනකොට ජනතාව තුළ අසීමිත බයක් නිර්මාණය කරලා “කන්න නැතත් ඉන්න රටක් ඕනෑ” කියන ආදර්ශ පාඨය ප්‍රකාශ කළා. මේ ආණ්ඩුව එහෙම බලයට පත්වී ජාතික සම්පත් විකුණමින්, රට ණය කරමින් බදු වංචා කරමින් අසීමිත ධනයක් කොල්ලකමින් ජනතාවගේ බඩට ගහනවා. දැන් ඉන්න රටකුත් නැහැ – කන්න දේකුත් නැහැ. එක වෙලාවක හාල් මිල ප්‍රකාශ කරන්නේ හාල් මෝල් හිමියෙක්. තව වෙලාවක ගෑස් මිල තීරණය කරන්නේ ඒ ඒ සමාගම්. ඒ වගේම පාන් පිටි, කිරිපිටි මිල වැඩි කරන්නේ ඒ ඒ සමාගම්. සමාගම් හිමියන්, මෝල් හිමියන් හසුරවන ආර්ථිකයක් බවට ලංකාව පත්වී තිබෙනවා. මේ විදිහට ජනතාව හූරගෙන කන්න ඉඩ හරින්නනම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. පාරිභෝගික අධිකාරියක් ඕන නෑ. පාරිභෝගික අමාත්‍යංශයක්, ඇමතිවරයෙක් ඕන නෑ. නමුත් ඇමතිවරුන් ජනතාවට කියන්නේ තුන් වේල නැත්නම් වෙල් දෙකක් කාලා ඉන්න සූදානම් වෙන්න කියලා. ලසන්ත අලගියවන්න ඇමතිවරයා, සාගර කාරියවසම් මන්ත්‍රීවරයා මේ ආකාරයේ ප්‍රකාශ කරනවා.

මේ රට මෙතෙක් පාලනය කළ  හැම පක්ෂයකම පාලකයන් සමාගම්කරුවන්, මෝල් හිමියන් එක්ක ඩීල් දාලා කොමිස් කුට්ටිය සාක්කුවේ දාගෙන ජනතාව පැදුරෙනුත් බිමට ඇදලා දැම්මා. වසංගතයක් නිසා ආර්ථික අවපාතයකට රට මුහුණ දෙනවා නම් ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ ජනතාවට යම්තාක් සහන ලබා දෙන්නයි. හැබැයි මේ ආණ්ඩුව කරන්නේ ව්‍යාපාරිකයන්ගේ ලාභය පුරවන්න ජනතාවට කියන්නේ ඉවසා දරා ගන්න කියලා. ඒ නිසා මේක කිසිසේත් ම ජනතාවාදී ආණ්ඩුවක් නොවෙයි. රැකියාවල නියුතු කාන්තාවන් ආපසු පොල් කොළ, දර ඇහිඳින්න යන තත්වයකට පත්කරන්න මේ ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා. පුරවැසියාගේ ජීවන තත්වය ඉදිරියට ගෙන යන්න අසමත් වන ආණ්ඩුවක් පිළිබඳව මේ කාල පරාසයේදී දැක ගන්න පුළුවන්. නාගරික කාන්තාවන් නොයෙක් අමතර ආදායම් ලබාගැනීමේ ක්‍රියාමාර්ගවල යෙදී සිටිනවා. නමුත් ගෑස් මිල වැඩිවීමෙන් ඒ සියල්ලම බිඳ වැටෙනවා. ජනතාවගේ ආදායම් මාර්ග මේ ආණ්ඩුවෙන් කිසිදු වැඩිවීමක් නොවී තිබෙන තත්වයක් තුළ බඩු මිල වේගයෙන් වැඩි වෙනවා. වසංගත තත්වයක් තිබෙන බව අපි දන්නවා. නමුත් සාමාන්‍ය දැනුමවත් නැති ඇමති මණ්ඩලයක් පත් කර ගෙන ජාවාරම්කාර ව්‍යාපාරිකයන් හිතුමතේ කටයුතු කරන බව  අපි දකිනවා. ජනතාවට බඩ ගැන නොසිතා වැඩි කරන්න කියන අතර ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මැති ඇමතිවරුන්ගේ පවුල්වල උදවිය රට ගැන හිතනවාද? නාස්තිකාර වියදම් මේ වන තුරු නවත්වා නැහැ. අසීරු අවස්ථාවක ඉන්න රටක් හැටියට ඔරොත්තු නොදෙන නාස්තිකාර වියදම් දිගටම කරගෙන යනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments