මිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද (22) උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පළමු ආසාදිත කාන්තාව වාර්තා වු දින සිට අද දක්වා වු කාලය තුළ එම පිරිස සුවය ලබා ඇතැයි ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා,
“පළමු ආසාදිතයා 3 වෙනිදා වාර්තා වෙලා 5 වෙනිදා ඉදලා මේ අයවලුන් අපි නිරෝධායනය සහ රෝහල් ගත කිරීම් කළා පළමු කාන්තාව. ඊයේ රාත්‍රීය වන විට ඒ හමුවු ආසාදිතයින්ගෙන් පළමුවෙන් 27 දෙනෙක්, පෙරේදා දවසේ 119 දෙනෙක් හා ඊයේ දිනයේ දී 40 දෙනෙක් මේ ආකාරයෙන් සම්පූර්ණයෙන් සුවය ලබලා මේ මිනුවන්ගොඩ පොකුරෙන් ඔවුන් නිවෙස්බලා ගිහින් තියෙනවා. පොදුවේ බැලුවහම සම්පූර්ණ ආසාදිතයින් නෙමෙයි දින 20ක් යද්දි මොවුන් සම්පූර්ණයෙන් සුවය ලබලා නිවෙස් බලා ගිහින් තියෙනවා.“
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 57 දෙනෙකු හඳුනාගැනීමත් සමග මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2,508 දක්වා ඉහළ ගොස් තිබේ.
එම ආසාදිතයින් 57 දෙනාගෙන් එක් අයෙකු නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අයෙකු වන අතර අනෙක් 56 දෙනා කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඊයේ (21) දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 167 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 166 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් බව සඳහන් වේ.
එම ආසාදිතයින් 166 දෙනා අතර නිරෝධායන මධ්‍යථානවල සිටින පුද්ගලයින් 38 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයින් 79 දෙනෙකු සහ පෑලියගොඩ මාළු වෙළෙඳසැලේ පුද්ගලයින් 49 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මීට අමතරව ඉතියෝපියාවේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙකු ද ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 5,978 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 3,501 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
රෝගීන් 2,464 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.