28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමේදී සාදාචාරවත් බවක් පේන්න නැහැ.පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය

ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමේදී සාදාචාරවත් බවක් පේන්න නැහැ.පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය


මේ වෙලාවේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහළ බසිනවා. මේ තරම් ජනතා ප්‍රසාදයක් මත බලයට පත් වුනු ආණ්ඩුවක් වසර දෙකක් ගත වෙන්න කලින් ජනතා අප්‍රසාදයට පත්වෙනවා අපි මෑත ඉතිහාසයේ අහල තිබුණේ නැහැ. ඒ වගේම අර්බුද රාශියක් නිර්මාණය වෙමින් තිබෙනවා. 
වසර 73ක් තිස්සේ ආණ්ඩු කළේ තමන්ගේ ආසාර්ථකත්වය හමුවේ ජනතා අවධානය වෙනතකට යොමු කරන්න විවිධ දේ කරනවා. එකක් තමයි ජාතිවාදය අවුස්සන එක. මිනිසුන් අතර බෙදීම් ඇති කිරීම මේ දේශපාලන පක්ෂවල උපක්‍රමයක්. එයින් මිනිස් ජීවිත අහිමිවෙන එක ලේ සෙලවෙන එක පාලකයින්ට අදාල නැහැ. ඔවුන්ගේ බල ව්‍යාපෘතියට ඕනෑම දෙයක් කරනවා. ඒ විදියටම මේ ආණ්ඩුවත් ජාතිවාදී ගැටුම් ඇති කරන ආකාරයේ තීන්දු තීරණ ගනිමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන ක්‍රියාමාර්ග ගනිමින් ඉන්න බව අපිට නිරීක්ෂණය වෙනවා. 
එමෙන්ම ඔවුන් නීතියටත් විවිධ බලපෑම් කරමින් ඉන්න බව අපිට පේනවා. ආණ්ඩුවේ ප්‍රතිවාදීන්ට, විවේචනය කරන්නන්ට එක නීතියකුත් තමන්ගේ යාළු මිත්‍රයන් වෙනුවෙන් තව නීතියකුත් ක්‍රියාත්මක කරනවා. මේකේ ලොකුම විහිළුව තමයි එක රටක් එක නීතියක් කියල බලයට ආපු ආණ්ඩුව මේ වෙනකොට පැහැදිලිවම ජනතාවට එක නීතියක් සහ තමන්ගේ යහළු මිත්‍රාදීන්ට තව නීතියකුත් ක්‍රියාත්මක කිරීම. කොතලාවල පනතට එරෙහිව අරගල කළ දේශපාලන ක්‍රියාදරයින් පස්දෙනෙක් දින 100කට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන ඉන්නවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයට පිළිබඳ මතයක් ඉදිරිපත් කළ ආගමික නායකයින්ට තර්ජනය එල්ල කරමින් තිබෙනවා. සිරිල් ගාමිණි පියතුමන්ව අත්අඩංගුවට ගන්න ප්‍රශ්න කරන්න සූදානමක් තිබෙන බව ඔහුම ප්‍රකාශ කර තිබෙනවා. එහෙම වෙද්දී ඉතාම සීග්‍රයෙන් ආණ්ඩුවේ හිතවාදීන්ගේ සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නඩු ඉවත් වෙමින් තිබෙනවා. මේක බරපතල තත්වයක්. මෙයින් නීතිය අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳවැටෙනවා. මේ නඩු ගොනු කරන්නේ සාක්ෂි සහිතවයි. ආණ්ඩු වෙනස් වෙනකොට සාක්ෂි වෙනස් වෙන්නේ කොහොමද? එය ප්‍රහේලිකාවක්. මෙයින් ජාත්‍යන්තර ප්‍රතිරූපයටත් හානි වෙනවා. මේ නඩු මානව හිමිකම් උල්ලංඝනය වුනු විශාල කතාබහකට ලක්වුණු නඩුත් මේ වෙනකොට ඉල්ලා අස්කරගෙන තිබෙනවා. ඒ වගේම පහුගිය කාලේ පොලිසිය ප්‍රසිද්ධියේ ජනතාවට පහර දෙන හිරිහැර කරන අවස්ථා අපි දකිනවා. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්නයට වඩා අපි දකින්නේ මෙය නීතිය ක්‍රියාත්මක වන ව්‍යූහය කඩා වැටිලා තිබෙනවා යන්නයි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී සදාචාරවත් බවක් මානව හිමිකම් ආරක්ෂා කරන සංස්කෘතියක් පේන්න නැහැ. රාජ්‍ය ඇමතිවරයා කරන ප්‍රකාශවලින් මේ තත්වය තවත් උග්‍ර අතට හැරෙනවා. පොලිසිය සම්බන්ධ මානව හිමිකම් නඩු මාස 06ක් ඇතුළුත සම්පූර්ණ වුනේ නැත්නම් ඉවත් කරගන්නවා කියලා ඇමති කියනවා. මේ රටේ මොන නඩුවද මාස 06න් විමර්ශනය කළේ. ඒ නිසා මේ සංඥාවලින් සමාජයට මොකක්ද දැනෙන්නේ. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට දේශපාලන බලයට යට නොවී ක්‍රියාත්මක වෙන්න නොහැකි තත්වයක් නිර්මාණය වෙමින් යනවා. මේවා තුලින් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසාගන්න උත්සහ කරමින් තිබෙනවා. 
අපි හිතනවා ජනතාව දැන් රැවටෙන යුගය නිමාකරමින් තිබෙනවා කියලා. ජනතාව මෑත ඉතිහාසයේ එනම් 2015දී සහ 2019දී පවතින දේශපාලනය ගැන විශාල විවේචනයක් සහිතව ආණ්ඩු මාරු කිරීමට එක්රැස් වුනා. ඒ අවස්ථා දෙකේදීම ආණ්ඩුවට රැවටුනා සහ ජනතාව හොඳටම පාවිච්චි වුනා කියන කාරණය දැන් සංවාදයට බඳුන් වෙලා. අපි හිතනවා නැවත වතාවක් එහෙම රවට්ටන්න පුළුවන් කමක් නැහැ කියලා. ජනතාවගේ ප්‍රතිචාරවලින් අපිට ඒ බව දැනෙනවා. මේ රටේ බහුතර ජනතාව ජාතිවාදයට හෝ අසාධාරණයට කැමැති නැහැ. ඒ දිශාවට තල්ලු කරන්නේ මේ රටේ දේශපාලකයෝ. නැවත වතාවක් අපි රවටන්න බැහැ කියන පණිවිඩය ජනතාව ඉතාම ශක්තිමත්ව ආණ්ඩුවට ලබාදිය යුතුයි. 
අද රටේ නීති ක්‍රියාවලිය විහිළුවක් වෙලා…නීතිඥ ලාල් විජේනායක
අපේ රටේ ව්‍යවස්ථා සකස්වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙන යෑම සඳහායි. එවැනි පාලනයක් ගෙන යෑම සඳහා ස්වාධීන අධිකරණයක් අවශ්‍යයි. ස්වාධීන අධිකරණයක් සඳහා නීතියේ ආධිපත්‍ය තහවුරු විය යුතුයි. ඒ වගේම නීතියේ ආධිපත්‍ය තහවුරු වීමට ස්වාධීන අධිකරණයක් අවශ්‍යයි. ඒ සඳහා නීතියට සාධාරණත්වයට ගරුකරන පරිපාලනමය ක්‍රියාවලියක් සහිත ආයතනයක් අවශ්‍යයි. 
පහු ගිය කාලයේ දීර්ඝ වශයෙන් විමර්ශන පවත්වා නඩු පැවරීම සඳහා වගකීම ඇති නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂට, කරන්නාගොඩගට, ප්‍රේමලාල් ජයසේකරකට බරපතල චෝදනා සහිත නඩු පවරලා තිබෙනවා. ඒ නඩු අධිකරණය ඉදිරියේදී ඔප්පු කරන්න පුළුවන් කියන විශ්වාසය සහිතව තමයි නීතිපතිවරයා මේ නඩු ගොනු කළේ. ඒ නඩු සියල්ල ගොනු කරලා තිබෙන්නේ දැන් ඉන්න අග්‍රවිනිස්චයකාරතුමා නීතිපතිව සිටියදීයි. ඒ නඩු අහන්න යනකොට දැන් ඉන්න නීතිපතිවරයා යටතේ නීතිපති දෙපර්තමේන්තුව නඩු ඉල්ලා අස්කර ගන්නවා. මේක සම්පූර්ණයෙන්ම නීති පද්ධතියම විහිළුවට ලක්කිරීමක්. දේශපාලන බලපෑම් මත තමයි මේ නඩු ඉල්ලා අස්කර ගන්නට යන්නේ කියලා පැහැදිලියි. නීතිපති සහ නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන බලයට යට කළොත් ඒ එටේ නීතියේ ආධිපත්‍යයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඉතාම බරපතල ප්‍රශ්නයක් අපේ රටේ අනාගතයට. මේක අපි දැඩි ලෙස හෙලා දකිනවා. ඒ වගේම මේක වෙනස් කළ යුතුයි. නීතිඥ ප්‍රජාව වගේම ජනතාවත් මේකට විරුද්ධ විය යුතුයි. 
ඒ වගේම තවත් බරපතල කාරණයක් තිබෙනවා. ඒ තමයි එක රටක් එක නීතියක් කාර්යසාධන බලකායට ඥානසාර හිමියන් පත්කර තිබෙනවා. එම බලකායේ එක් කටයුත්තක් තමයි එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පතක් ඉදිරිපත් කිරීම. මේක පුදුම සහගත දෙයක්. ඥානසාර හාමුදුරුවෝ අධිකරණයට අපහාස කරලා සිරදඩුවම් නියම කරලා හිරේ ඉන්නකොට ජනාධිපති සමාවක් මත එළියට ආපු අයෙක්. එවැනි අයෙක් නීති සකස් කරන්න කමිටුවකට පත්කිරීම නීතිය හෑල්ලුවට, විහිළුවට ලක්කිරීමක්. නීතිය ජනතාවට එපාකරවන්න කරන වැඩක් කියලයි අපිට හිතෙන්නේ. එය තවත් බරපතල වන්නේ අධිකරණ ඇමති විසින් පත්කළ විශේෂඥ පිරිසක් කෙටුම්පතක් සකස් කර තිබියදී මේ පත්කිරීම සිදුකිරීමයි. කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ බලය තිබෙන්නේ ඇමතිවරයාට. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුවයි නීතියක් බවට පත්වෙන්නේ. ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් මඟහැරලා. නීතිය විකෘති කරන ක්‍රමවේදයක්. මේ වගේ තීරණ ගැනීම අධිකරණ ඇමති අපහසුතාවයට පත්කිරීමක්. අධිකරණ ඇමතිට ආත්ම ගරුත්වයක් තිබෙනවානම් ඔහු තනතුරේ දිනක් හෝ නොසිටිය යුතුයි. ඒ නිසා අපි හිතන්නේ මෙය රට තුළ ආගම් බේදයක් ඇති කිරීමට ගන්නා පියවරක් හැටියටයි. ඒ නිසා නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීම රටේ ජනතාවගේ ප්‍රධාන අභියෝගයක් බවට පත්වෙලා තිබෙනවා. අපි මෙය ආරක්ෂා කර ගත්තේ නැත්නම් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න ඉඩක් නැතිවෙනවා. 
ඔබට නැවතත් රැවටීමට පූර්ණ අයිතිය තිබෙනවා. නමුත් රැවටෙන්න එපා!නීතිඥ සුනිල් වටගල
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සැලකිය යුතු තර්ජනයකට ලක්වෙලා. මෙහි භයානකත්වය මුලින්ම දැක්කේ ගම සමඟ පිළිසඳර වැඩසටහනකදී ජනාධිපතිවරයා විසින් ඔහුගේ ප්‍රකාශ නීතිය හෝ චක්‍රලේඛයක් වන බව පැවසූ අවස්ථාවේදීයි. ඒ තුළ තිබෙනවා ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් නැහැ කියලා. එයින් පටන් ගත්ත ගමන තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව තමයි අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු ඇතුළු 05 දෙනෙක් දින 100කට වැඩි කාලයක් සකස් කළ චෝදනාවකට අනුව බන්ධනාගාර ගතකර තිබෙන්නේ. සිරිල් ගාමිනී පියතුමාගේ සිදුවීමත් යම් දේශපාලන අරමුණක් තිබෙන බව අපිට පේනවා. ඥානසාර හාමුදුරුවන්ගේ කමිටුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නිවේදනයක් නිකුත් කරන්න සිදුවුනා මෙය ජනාධිපතිවරයා බලය ඉක්මවා යමින් පාර්ලිමේන්තු බලය විධායකය යටතට ගැනීමක් කියලා. මේවා මගින් පේනවා නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අවුලක තිබෙනවා කියලා. 
ඒ අතර තමයි වාර්තා වෙන්නේ බැසිල් රාජපක්ෂගේ ලිත් නඩුවත් ඉල්ලා අස්කර ගන්නවාද නැද්ද යන්න ඉදිරියේදී නීතිපතිවරයා පවසනවා කියන ප්‍රවෘත්තිය. ඒ නිසාම නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම ගැන විශාල සංවාදයක් මතුව තිබෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව නඩු ඉල්ලා අස්කර ගන්න පුළුවන්. නමුත් අධිකරණයටත් බලයක් තිබෙනවා ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව කරුණු විමසන්න. ඒ අනුව තමයි ළමුන් 11දෙනාගේ අතුරුදන් කිරීමේ නඩුවත් නීතිපතිවරයා ඉල්ලා අස්කරගන්න ආපු වෙලාවේ අධිකරණය ඊට අවස්ථාව නොදී යළි සලකා බලන්න කිව්වේ. අනෙක් බොහෝ අවස්ථාවල අධිචෝදනා පත්‍රය නීතිපති විසින් ඉල්ලා අස්කරගෙන නඩුව ඉවත් කරගත්තා. මෙහෙම වෙන නිසා රටේ ජනතාව කියනවා නීතිපතිට උපදෙස් දෙන්නේ හමුදාපතිද කියලා. එහෙම බරපතල සංවාදයක් ආවා ළමුන් 11දෙනාගේ නඩුව ඉල්ලා අස්කර ගන්න ආපු වෙලාවේ. ඒ ළමුන්ගේ දෙමාපියන් හැමදාම උසාවිය ඉස්සර බෝඩ් උසසන් ඉන්න අතරේ තමයි නඩුව ඉල්ලා අස්කරගන්න හදන්නේ. 
මේක ඉතාම විසංවාදයක්. කොහොමද නීතිපතිවරයා මේ නඩු ඉවත් කරගන්නේ. මහජන මුදලින් නඩත්තු වෙන මේ ආයතන තුළ මුදල් නාස්ති කරල, කරල කාගේ වැරැද්දක් නිසාද මේ නඩු ඉවත් කර ගන්නේ කියලා නීතිපතිවරයා රටට පැහැදිලි කිරීමක් කළ යුතුයි. විමර්ශනවලට එම නිලධාරීන් කැඳවිය යුතුයි. මහජනතාවට උත්තර ලබාදිය යුතුයි. එක නඩුවක් නෙවෙයි දෙකක් නෙවෙයි නඩු විශාල ප්‍රමාණයක් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ දාපු මහජන මුදල් හොරාකාපු සිදුවීම් සම්බන්ධයෙන් ගොනුකළ අධිචෝදනා පත්‍ර පෙළට ඉල්ලා අස්කරගන්නවා. එක ආණ්ඩුවක නීතිපති නඩු දානවා. අනෙක් ආණ්ඩුවේ නීතිපති ඉල්ලා අස්කර ගන්නවා. කියමනක් තිබෙනවා මාළු මුදලාලි කියනවා මගේ මාළු කුණුවෙලා කියලා. නීතිපති කියනවා මගේ නඩු හරි බාල නඩු කියලා. හරි පැහැදිලියි මේ කතාව. 
නීතිපතිතුමාට අපි කියනවා. ඔබතුමා එන්නේ ආණ්ඩුව කියන කියන දේ කරන්න නෙවෙයි. ඔබ ජනතාවට වගකිව යුතු නිලධාරියෙක්. ජනතාවට වගකියනවා වෙනුවට ආණ්ඩුව කියන කියන දේ කරන්න නම් ඔතන ඉන්නේ ඔබ ගෞරවාන්විතව ඉල්ලා අස්වෙන එක හොඳයි. 
ඒ වගේම ආණ්ඩුවේ පාර්ශ්වයක්ම කියනවා මහජන සභාවක් තියලා ආණ්ඩුව දේපල විකුණනවා කියලා. ආණ්ඩුව පීලි පැනලා කියලා. දැන් බුර බුරා එන මහජන විරෝධය සමනය කරන්න ආණ්ඩුවේ කොටසක් මහජන මතය සමනය කරන්න උත්සහ කරනවා. කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන තමයි මේ කියන්නේ. අලි සබ්රි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මේ කවුරුත් ඉල්ලා අස්වෙලා නැහැ. මේ පරීක්ෂණය කරන්න හොඳම වෙලාවක් තිබෙනවා. අයවැය ඡන්දය විමසන්නේ දෙසැ. 12වෙනිදා. අපි බලමු එදාට මොකද වෙන්නේ කියලා. මේ අය කරන්නේ දඩ බල්ලන් සමඟ දඩයමේ යන ගමන් හාවුන් සමඟ දුවනවා වගේ වැඩක්. ඒ නිසා දඩබල්ලන්ද හාවුන්ද කියන එක ඔප්පු කරන්න කියලා අපි ඔවුන්ට කියනවා. 
මේ රටේ මහජනතාවගෙන් අපි අහනවා ඔබ තවත් රැවටෙනවාද? මේ වෙනකොට අපි විශාල ජන කොටසක් ආමන්ත්‍රණය කරමින් ඉන්නවා. අපි 69ලක්ෂයට දොස් කියන්නේ නැහැ. ඔවුන්ට අවංක ප්‍රාර්ථනාවක් තිබුණා. සජිත් ප්‍රේමදාසලාට ඡන්දය දුන්නේ මොකක් හෝ බලාපොරොත්තුවකින්. අපි පැහැදිලිව කියනවා ඔබගේ බලාපොරොත්තු බොඳ කරලා තිබෙන්නේ. සජිත ප්‍රේමදාසලාට හිටගන්න අද සටන් පාඨයක් නැහැ. ඒ අයත් ආණ්ඩුවේ කොටසක් වගේ. ඒ නිසාම අපි මේ රටේ ජනතාවට කියනවා ඔබ නැවතත් රැවටෙන්න නම් හදන්නේ ඔබට ඒ අයිතිය තිබෙනවා; නමුත් එහෙම කරන්න එපා මොකද ඔබට තේරුම් ගන්න වසර 73ක කාලයක් දැන් හොඳටම ප්‍රමාණවත්. ඒ භූමිකාව කෙළවර කරමු. 
අපි ජාතික ජනබලවේගය නිර්මාණය කරලා අපි ජනතාවට නායකත්වය දෙන්න සූදානම්. අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් නියෝජනය කරන ජාතික ජන බලවේගය තමයි ඉතිරිවෙලා තිබෙන එකම බලවේගය. අපි ජනතාවට ආරාධනය කරනවා. ඔබ පොදුජන පෙරමුණ ඡන්දය ලබාදීලා ඔබේ සිතුවිල්ල බොඳවෙලා තිබෙනවා එන්න අපේ වේදිකාවට. ඔබ සජිත ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායමට ඡන්දය දුන්නද ඔවුන්ද ඔබේ බලාපොරොත්තු බොඳ කරමින් සිටියි. එන්න අපේ වේදිකාවට. ජාතික ජන බලවේගයේ අපි බය නෑ. අපි අවංක දේශපාලනයක් කරනවා. අපි ජාතිවාදී නැහැ. අපේ කඳවුරේ කිසිවෙකුට අධි චෝදනා නැහැ. අපි ළඟ හොරු නැහැ. ඒ වගේම රට හදන සැලැස්ම අපි ළඟ තිබෙනවා. 
ඔබට නැවත රැවටීමට අවශ්‍ය නම් ඒ ඉතිහාසය කියවාගන්න. සිරිමා බණ්ඩාරනායක හඳෙන් හාල් ගෙනත් දෙනවා කිව්වා. ගෙනත් දුන්නේ නැහැ. ජේ ආර් ජයවර්ධන ඇට අටක් දෙනවා කිව්වට දුන්නේ නැහැ. ප්‍රේමදාස මහත්තයා වේදිකාවක් වේදිකාවක් ගානේ කියපු දේ දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ගමේ මිනිහා වෙල් ඉපනැල්ලේ ඇවිදපු මිනිහා කියලා මේ රට හොඳටම ණය කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ රටට මානුෂික මුහුණුවරක් දෙනවා කිව්වට දුන්නේ නැහැ. ගෝටාභය රාජපක්ෂ ගැන කියන්න දෙයක් නැහැ. ඔහු ඉදිරිපත් කළ වැඩපිළිවෙළේ ඉස්පිල්ල, පාපිල්ලක්, වචනයක් වාක්‍යයක් ඡේදයක් තියෙනවනම් ඒ සියල්ල උල්ලංඝණය කරල ඉවරයි. ඒ නිසා එක එක ජවනිකා වලට රැවටෙන්න එපා කියලා නැවතත් ජනතාවගෙන් ඉල්ලනවා. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments